Language Switcher

V2025

විශ්වාසභංගය පහත් දේශපාලන කුමන්ත්‍රණයක් : පොහොට්ටුවෙන්ම තහවුරුවක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය හමුවේ මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ දෙබිඩි හැසිරීම විසින් එය පහත් දේශපාලන කුමන්ත්‍රණයක් බව අනාවරණය වන්නේ යැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඊට නිදර්ශනයක් ලෙස දශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයකු වන හිටපු මේජර් අජිත් ප්‍රසන්න විසින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙන වීඩියෝව සළකන්නට හැකි බවය.

අදාළ වීඩියෝව

බලය ගැනීම පාඩුවක් !

අදාළ විශ්වාසභංග යෝජනාව එජාපය දැනුවත්වම පරාජයට පත්වීමට ඉඩ හැරීමේ අවධානමක් තිබෙන බවත් එවැනි වාතාවරණයක් මතුවුවහොත් එය පොදුජන පෙරමුණට බරපතල දේශපාලන අවාසියක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන හිටපු මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කරයි.

රටේ පවතින වාතාවරණය අනුව යම් ආකාරයකට එජාපය පරාජය වුවහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය වීමට වැඩි ඉඩක් පවතින බවත් ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනා පාර්ශවය ලෙස බිහිවන නව ආණ්ඩුවට වගකියන්නට පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

ජනතාව ඉල්ලන දේවල් දෙන්න අපිටත් බෑ !

මේ බව පෙන්වාදෙමින් කරමින් අජිත් ප්‍රසන්න අවධාරණය කරන්නේ පවතින ආණ්ඩුව නිරන්තරව පොදු ජනතාවගේ විවේචනයට ලක්වන බවත් ඒ අනුව පඩි වැඩි කරව්, බඩු මිල අඩු කරව් වැනි සටන් පාඨ හමුවේ ආණ්ඩුව ලක්වන අපකීර්තිය තම පාර්ශවයට එල්ලවිය හැකි බවය.

එසේම දැනටමත් කිසිම අවස්තාවක මෛත්‍රී පාලනය යටතේ ඇමතිකම් දරන්නට කටයුතු නොකරන බවට දැඩි ස්ථාවරයක සිටින නිසා ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවයෙන් බිහිකරන නිමල් සිරිපාල හෝ සුසිල් අගමැති වන ආණ්ඩුවේ අපකීර්තියේ පංගුවක් තමන්ට ලැබී ජන්ද පදනමද දියවිය හැකි බව ඔහු සඳහන් කරයි.

රුපියල අවප්‍රමාණය වීම, අතිවිශාල ණය පොළී වාරික ප්‍රමාණයක් ගෙවීමට නියමිතව තිබීම, ආනයන භාණ්ඩ මිල ඉහළයාම වැනි ආර්ථික දුෂ්කරතා වසර දෙකක් තුළ බලයට එන කිසිවෙකුට විසඳිය නොහැකි බවත් ඒ හේතුවෙන් තමන් ඒකාබද්ධ විපක්ෂයේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වූවානම් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය ජයග්‍රහණය කිරීමට කටයුතු නොකරන බවද ඔහු සඳහන් කරයි.

විශ්වාසභංගයේ සැබෑ අපේක්ෂා තේරුම් ගන්න අවශ්‍යයි !

මේ පිළිබඳ විග්‍රහ කරන දේශපාලන විචාරකයින් සඳහන් කර සිටින්නේ, මේ මොහොතේ ජනවාරි 08 ජනවරමට පිටුපා කරන දේශපාලනය පසුපස ඇති සාධක ජනතාව තේරුම් ගතයුතුව තිබෙන බවය.

වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන ආකාරයට හිටපු මේජර් මේ සිදුකරන දේශපාලනය ඔහුගේ නොව මේ වන විටත් විශ්වාසභංග යෝජනාව හමුවේ දෙකට බෙදී සිටින ඒකාබද්ධ විපක්ෂයේ එක් පාර්ශවයක අදහසයි. එම පාර්ශවයකද දේශපාලන උපදේශකයින්ගේ තක්සේරුවක් ය. නැතිනම් think tank අදහසක්ය. ඒ හැර අජිත් ප්‍රසන්න වැන්නෙකුට මෙවැනි විග්‍රහ එන්නේ නැත.

පොදු ප්‍රශ්න කාටවත් අදාළ නෑ !

ඒ අනුව පෙනී යන්නේ පාර්ශව කිහිපයක දේශපාලන බල අපේක්ෂා අනුව මේ මොහොතේ ව්‍යාජ ආණ්ඩු විරෝධයක් මතුකර රටේ දෛනික ජීවිතය ඒ මතට ඇදදමා තිබෙන බවය. ඒ අනුව ජනතා ප්‍රශ්න විසඳීම හෝ පොදුවේ සමාජය මුහුණදී සිටින කිසිඳු අභියෝගයක් ඒ කවර පාර්ශවයක හෝ දේශපාලන න්‍යාය පත්‍රයේ නොමැත.

යළි යළිත් ඒ බව තහවුරු කරන්නේ වීශ්වාසභංගය ගෙන ඒමේ අපේක්ෂාව සහ එයින් පසු තත්ත්වය සම්බන්ධව ඔවුන්ට තිබෙන විග්‍රහයයි.

සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ බල පෙරළියක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් මිස සෙල්ලමට නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක සිහිමොළ යහපත් පුරවැසියන් එවැනි සෙල්ලම් වලට ඉඩදිය යුතුද නැත.

විශ්වාසභංගයේ සරල තේරුම

මන්ද විශ්වාසභංග යෝජනාව හරහා අභියෝග කරන්නේ කිසියම් නිශ්චිත කාලයක් බලය හොබවා කටයුතු කිරීමට ජනතාව ලබාදී තිබෙන වරමකට වන නිසාය. ඒ අනුව ජනතා වරමට පිටුපාන සහ ඒ තුළ රාජ්‍ය පර්යාය බිඳ දමන ආකාරයට කටයුතු සිදුවීම සහ එය වළක්වාලීම විශ්වාසභංග යොජනාවක සරල හරය වෙයි.

එසේනම් ජනතාව වෙනුවෙන් ජනතාව පත්කළ ආණ්ඩුවක් ගෙදර යවන්නට කිසියම් පාර්ශවයක් මූලිකත්වය ගන්නවා නම් එයින් අනතුරුව බිහිවන නව තත්ත්වයේ වගකීමද ඔවුන් ගතයුතුව තිබේ. එහෙත් මේ මොහොතේ එවැන්නක් සිදුවන ස්වභාවක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරලා !

ඒ වෙනුවට දකින්නට ඇත්තේ විශ්වාසභංගයට මැදිහත්ව සිටින සියළු පාර්ශව ඔවුනොවුන්ට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරවීම සඳහා පමණක් කටයුතු කරන බවය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ නියෝජිතයන්, බහුතර ජනමතය අනුව කරන පාලනයක් වුවත්, මේ විශ්වාසභංගය හමුවේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ පාලකයින් වෙනුවෙන් පාලක අභිලාශ සාධනය කරගන්නට පාලක බහුතරය ලබන්නට දියත්කර තිබෙන පොරයක් ලෙසය. දිගටම රට යන්නේ මෙවැනි දේශපාලන තක්කඩි හැසිරීමක නම් එවැනි පාලකයන්ට එරෙහිව මඩු වලිගය අතට නොගන්නා ජනතාවට අබ සරණය.