Language Switcher

V2025

අවතැන් වූ පවුල් සඳහා යුද හමුදාවෙන් නිවාස

යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් සඳහා ‘නල්ලිනක්කපුරම්’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් පසුගියදා (30) දින නලිනක්කපුරම් ගම්මානයේ දී තවත් නව නිවාස 25 ක් පිරිනමා ඇත.

ඒ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

එසේම කීරමලේ නිවාස ව්‍යාපෘතියේ දී අවතැන් වූ පවුල් සඳහා නිවාස ඉදිකර දුන් අතර, මෙම නව නිවාස ව්‍යාපෘතිය එහි දෙවන අදියර වේ. ඒකාබද්ධ ව්‍යාපෘතියේ කළමණාකරණ කණ්ඩායම (Joint Project Management Team), යුද්ධ, නාවික, ගුවන් හමුදා සාමාජිකයින් සහ ප්‍රතිලාභීන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

කීරමලේ නිවාස ව්‍යාපෘතියේ දී මෙන්, මෙහි පර්චස් 20 ක භුමි ප්‍රමාණයක රුපියල් මිලියනක් පමණ වැයකර ඉදිකර ඇති එක් නිවසක් නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් සහ වැකිලියකින් මෙන්ම නාන කාමරයකින් ද සමන්විත වේ. එමෙන්ම සෑම නිවසක් සඳහාම ජලය, විදුලිය, මාර්ග පද්ධතිය, ප්‍රජා ශාලාව, අපද්‍රව්‍ය බැහැර කිරිමේ පද්ධතියක් සහ ජල පිරිපහදු යන්ත්‍රයක් වැනි පහසුකම් ද සපයා දී ඇත.

සිකුරාදා දින පැවති මෙම නව නිවාස ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරීමෙහිලා විශේෂ සහයෝගයක් දැක් වූ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා සහභාගි වූ අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ වකවානුවේ කීරමලේ ව්‍යාපෘතිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා , යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ එම නිවාස ලාභී පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.