Language Switcher

V2025

නාගයන් නිකංම නිකං 'නයි ' කළ : ලිට්‍රෝ ටෙන්ඩරය !

ටෙන්ඩර් වංචාවක් ගැන පවසමින් නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ලිට්‍රෝ සමාගම සම්බන්ධයෙන් දැක්වූ අදහස් සත්‍යයෙන් තොර බව ලිට්‍රෝ සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාගානන්ද කොඩිතුවක්කු මෙන්ම මෙකී චෝදනාව එල්ල කරන්නන් කරුණු විකෘති කොට දක්වමින් පටු දේශපාලන වාසි තකා මේ චෝදනා එල්ල කරන බවයි .

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , මේ ලිට්‍රෝ ගෑස් සමාගමේ ටෙන්ඩර් වංචාවක් ගැන කියමින් අග්‍රාමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක ඊට ඈඳා ඇත්තේද දේශපාලන තක්කඩිකමක් තුළය.

එබැවින් නාගානන්ද වැනි එක් පුද්ගලයකු අරඹයා ප්‍රතිචාර දක්වා තේරුමක් නැති බවත් , ප්‍රතිචාර දැක්විය යුතුව ඇත්තේ , සිදුවීම විකෘති කර ජනතාව වෙත යවන දේශපාලන තක්කඩි සියල්ලන් අනාවරණය වන ආකාරයට බවත් අදාළ ආරංචි මාර්ග පවසයි .

මේ බව සරලව පැවසුවහොත් siam සමාගම අඩු ලංසුවක් ඉදිරිපත් කර ඇති නමුත් ගෑස් සැපයීම වෙනුවෙන් ඔවුන් දමා ඇති කොන්දේසි පූර්ණය කිරීම මෙරටට මේ මොහොතේ කොහෙත්ම කළ නොහැකිව ඇත . එසේම දෙපාර්ශවයම දක්වන අවශ්‍යතා අනූව සිදුවීමට නියමිතව ඇත්තේ, මෙරටට ගෑස් සපයා ගැනීම දින නියමයක් නොමැතිව කල් යෑමය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහස් දැක්වීමක් ලිට්‍රෝ සමාගම විසින් නිවේදනය කර ඇත . එය පහත දැක්වෙයි .

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිවේදනය !

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ 2022- 2023 වසර සඳහා 280,000MT ජාත්‍යන්තරයෙන් ගෑස් මිල දී ගැනීමේ නෞකා ගාස්තු ටෙන්ඩරය සම්බන්ධව විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වල පලවන අසත්‍ය තොරතුරු සම්බන්ධව සමාගමේ පැහැදිලි කිරීම.

අදාළ වර්ෂය සඳහා LP Gas ප්‍රවාහන නෞකා ගාස්තු ටෙන්ඩරය, ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් යටතේ (ICB) 2022 /01/09 කැඳවන ලද අතර 2022/ 03 /16 මිල ගණන් කැඳවීම අවසන් කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටි.

එම මිල ගණන් කැඳවීම සඳහා පහත සඳහන් සැපයුම්කරුවන් අදාල මිල ගණන් ඉදිරිපත් කළ බව ලිට්රෝ සමාගම දන්වා සිටි.
1. Siam trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව
ඇමරිකානු ඩොලර් 96 වශයෙන් ද ( $ 96 per Mt )
2. O Q trading ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව
ඇමරිකානු ඩොලර් 129 වශයෙන් ද ( $ 129 per Mt )
3. BB Energy ( Asia ) ltd ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නෞකා ගාස්තුව
ඇමරිකානු ඩොලර් 148 වශයෙන් ද ( $ 148 per Mt )

කැබිනෙට්ටුව විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් ( SCAPC) Siam trading අදාළ වර්ෂය සඳහා සැපයුම්කරු ලෙස නම් කරන ලදී.

නමුත් ගිවිසුම් ප්‍රකාරව Siam Gas ආයතනය සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලබාදිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයවර ලිපිය ( $ 30M -SBLC) ලබාදීමට ශ්‍රී ලාංකික රජයට නොහැකි තත්වයක් පැවතුනි.

එම තත්වය විසඳා ගැනීම සඳහා කල් ගැනීමට අවශ්‍ය නිසාත් ඒ වන විට ශ්‍රී ලංකාව තුල ගෑස් තොග දින කිහිපයකට අඩු වී තිබූ නිසාත් කෙටි කාලීන විසඳුමක් වශයෙන් Spot Cargo මිලදී ගැනීමට මිල ගනන් ,මෙම Siam Gas සමාගමෙන් හා පෙර සැපයුමකරු හා දෙවන මිල දැක්වූ Tender කරු වන OQ සමාගමෙන් ද මිල කැඳවන ලදී.

2020/ 05/30 දින ලිපියක් මගින් Siam Gas ආයතනය වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ ඔවුනට සැපයිය හැක්කේ ගෑස් මෙට්‍රික් ටොන් 6600 ප්‍රමාණයක් බවත් එය සැපයිය හැක්කේ නෞකා ගාස්තු $112 කට බවත් සඳහන් කර ඇති අතර එම ප්‍රමාණය දින 5 දෛනික අවශ්‍යතා සඳහා සෑහෙන නමුත් ,වර්තමාන අධික ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දන්වා සිටී.

ඉහත මිල කැඳවීමේදී දෙවෙනි අඩු මිල ගණන් සැපයූ OQ Trading සමාගමට මාස හතරක ශ්‍රී ලාංකීය ගෑස් අවශ්‍යතාවය වන මෙට්‍රික් 100,000 ප්‍රමාණයක් නෞකා ගාස්තු $129 කට සපුරාලිය හැකි බව දැනුම් දී ඇත.

ඉහත කරුණු සලකා බලා, වර්තමාන ගෑස් හිඟය සහ පෝලිං නවතා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයකට පත් කිරීමට 2022 /06/ 08 අමාත්‍ය මණ්ඩලයේ මගින් තාවකාලික සැපයුම සඳහා OQ Trading සමාගම සමග ගිවිසුම් ගත වෙන ලෙසටත්, ශ්‍රී ලංකා රජයට වර්තමානයේදී ඇති මුල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියා කර හැකි ගිවිසුමකට එළඹීම සඳහා, Siam Gas කොන්ත්‍රාත්තුව අවසන් කොට නව ටෙන්ඩරයක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කර සිටී.

OQ Trading හා Siam Gas අතර නැව් ගාස්තුවල පරතරය ඩොලර් 17ක් වන අතර එහි බලපෑම 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු .77.50 වේ. අඛණ්ඩ ගෑස් සැපයුම ලබාදීම මෙම අවස්ථාවේදී ඉතා වැදගත් බව ලිට්රෝ සමාගම පවසයි.

නාගයන් නයි වෙන හැටි මෙන්න !

එසේ නම් ,

2022-2023 සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් 280000ක් මිලදී ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩරයක් ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.

2022/03/16 අවසන් වූ එහි අඩුම ලන්සුව siam ගෑස් සමාගමට ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නැව් ගාස්තු ඇමරිකානු ඩොලර් 96ක් වශයෙන් දැක්වීම ත් රහසක් නොවේ.

ප්‍රශ්නය වන්නේ මේ ප්‍රසිද්ධ කරුණු මෙන්ම , 2022 මැයි මස 03 ලිට්‍රෝ ගෑස් සමාගම කැබිනට් අනුමැතියෙන් Siam සමාගමට එම සමාගම තෝරා ගත්තා යැයි යොමුකළ ලිපියෙහි දිනය පමණක් දැන සිටීමය. අනිත් කිසිවක් නොදැන සිටීමය.

අවම වශයෙන් ගිවිසුම් ප්‍රකාරව සැපයුම්කරුගේ (Siam) ආරක්ෂාව සම්බන්ධව siam සමාගම ණයවර ලිපි ඉල්ලා ඇතිබ චෝදනා නගන්නන් කියන්නේ නැත.

එකී ලියවිලි සාමාන්‍ය තත්ත්වයක මෙන් නිකුත් කළහැකි තැනක ආර්ථික ය නැත. ඒ බවත් චෝදනාකරුවන් දන්නේ නැද්ද ?

Saim ඉල්ලා සිටි ලියවිලි සූදානම් කිරීමට (SBLC) යම් කාලයක් ගතවෙන බැවින් ටෙන්ඩර ලන්සු ගත මුදල වන ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 96 කට හදිසි තත්ත්වයක් සේ සලකා ජූනි මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 15000ක් ලබා දෙන ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම siam සමාගමෙන් ඉල්ලීමක් කළ බව චෝදකයන් දන්නේ නැද්ද ?

එම ඉල්ලීම siam සමාගම ප්‍රතිකේෂ්ප කළ බව චෝදකයන් දන්නේ නැද්ද ?

2022 මැයි මස 09 ලිට්රෝ ගෑස් ලංකා සමාගමෙන් ඩොලර් මිලියන 30 ක ණයවර ලියවිල්ලක් ( SBLC) ජාත්‍යන්තර බැංකුවක් හරහා නිකුත් කරන ලෙසත් එය නිකුත් කරනා තෙක් ගෑස් ලබා දිය නොහැකි බව siam සඳහන් කර ඇති බව චෝදකයන් දන්නේ නැද්ද ?

එසේම ණයවර ලිපිය නිකුත් කළත් ගෑස් මෙට්‍රික් ටොන් 15000 ලබා දිය නොහැකි බවත් ලබාදීමට හැකියාව ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් 6600 ක් පමණක් බවත් දන්වා ඇති බව චෝදකයන් දන්නේ නැද්ද ?

එම ප්‍රමාණය දෙන්නේද මෙට්‍රික් ටොන් එක ඩොලර් 96 බැගින් නොව ඩොලර් 112 බැගින් බව චෝදකයන් දන්නේ නැද්ද ?

හදිසි මිලදී ගැනීම සඳහා දෙවෙනි අඩුම ලන්සුව හිමි ඕමාන් ට්‍රේඩින් ආයතනයෙන් ( OQ Trading) ගෑස් මෙට්‍රික් ටොන් 15000ක් හදිසි මිලදී ගැනීමට විමසූ විට අවම වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 100,000 ක්වත් මිලදී ගත යුතු බව දැන්වූ බව චෝදකයන් දන්නේ නැද්ද ?

එහිදී එම සමාගම දැන්වූ මිල පළමු ටෙන්ඩරය සඳහා සහය නිකුත්කළ මිලට සමාන බවත් චෝදකයන් දන්නේ නැද්ද ?

2020 මැයි මස 31 දින හෝ ඊට ආසන්න දිනක එවකට ලිට්‍රෝ සභාපති විජිත හේරත් විසින් හදිසි අවස්ථාවේදී ඕමාන් ට්‍රේඩින් ආයතනයෙන් ගෑස් ලබාගැනීමට මූල්‍යමය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමුකළ බව චෝදකයන් දන්නේ නැද්ද ?

2022 /06/08 කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ගනුලැබූ තීන්දු තීරණ ගැන චෝදකයන් දන්නේ නැද්ද ?

ඒ බව සොයා බැලීමක් කළා නම් මේ හදිසි අවශ්‍යතා මිලදී ගැනීමක් මිස මූලික ටෙන්ඩරය ලබා දීමක් නොවන බව දැනගන්නට තිබිණ .

එසේම , Siam ගෑස් සමාගම ඉවත් වූයේ කොමිස් හුටපටයක් නිසා නොවන බවත් ඊට හේතුව මෙරට රජයට එම සමාගම වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමේ හැකියාවක් නොතිබුණු නිසා බවත් දැනගන්නට තිබිණ .

වැඩේ කියන්නේ මේ කිසිවක් නොසොය, අහස කඩා වැටුණෝ දේශපාලනය ඉදිරියට පැමිණ තිබීමය . එවැනි උදවිය සහ රාජපක්ෂවරුන් අතර වෙනසක් නැත. දෙගොල්ලොම කරන්නේ අවස්ථාව බලා ජනතාව රවටා ගැනීමය.