Language Switcher

V2025

ඇඟලුම් කම්හල් 200කට මාරාන්තිකයි !

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද දවසේ බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක්වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදය පවසයි.

මේ අතර ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක්වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.

මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතනවල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතන වලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි පෙන්වා දෙන ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම් කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

-Lankadeepa