අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව ප්‍රකාශකර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ අද පැවැත්වෙන විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා පරාජයට පත්වුවහොත් එම පරාජය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද අදාළ වන බවය.
එසේම 2015 ජනවාරි 08 සැබෑ ජනවරම හිමිවුයේ මෛත්‍රීපාල සිරිසේනට බවත් රනිල් වික්‍රමසිංහ මහතා අදමතිධුරය ගත්තේ එම ජනවරම අස්සට ගිහින් බවද පැවසු මන්ත්‍රීවරයා අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ සිටි දුෂිතයන් පිරිසක් ආණ්ඩුවට ගෙන ඔවුන්ට අමාත්‍යකම් ලබාදුන් සිරිසේන ජනාධිපතිවරයා ජනවරමට ආරම්භක අවස්ථාවේම පිටුපෑ බවද සඳහන් කළේය.
අගමැති හොරු 50ක් ආරක්ෂා කළා නම් ජනාධිපති හොරු 51ක් ආරක්ෂා කළා
බැඳුම්කර කොමිසමේ වාර්තාව එළිදක්වන්නට පෙර බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා 35ක් කිසිඳු පියවරක් නොගෙන ජනාධිපතිවරයා තමන් සන්තකයේ තබාගෙන සිටි බවත් දුෂිතයන් ඇල්ලීමට පොරොන්දුවී ලබාගත් ජනවරම දුෂිතයන් රැකීමට යෝදාගත්තේද ජනාධිපතිවරයා බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හොරු පනහක් ආරක්ෂා කළා නම් ජනාධිපතිවරයා හොරු පනස් එකක් ආරක්ෂා කළ බවත් ජනවරමට ද්‍රෝහීවූ එම ක්‍රියාව තුළ ජනාධිපති දෙවැනි ජුදාස් බවට පත්ව සිටින බවද බිමල් රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.