දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවර රටේ වාසනාවට පරාජය කිරීමට හැකිවුණා - මංගල

දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවර රටේ වාසනාවට පරාජය කිරීමට හැකිවුණා - මංගල

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත විශ්වාසය පළකිරීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධව තම මිත්‍ර කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට ස්තුති කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග විවාදයට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ රටේ විපක්ෂයට තිබෙන දේශපාලන අභියෝගය රනිල් වික්‍රමසිංහ බවත් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් ගෙදර යවන්න තියෙන බාධකය අග්‍රාමාත්‍යවරයා බැවින් දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවර ලෙස අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට විශ්වාසභංග යෝජනාව ගෙනවිත් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ණයෙන් තැලුණු පොඩි වූ රටක් බාරගෙන ගොඩනැගුවා

මේ ආණ්ඩුව ණයෙන් තැලුණු පොඩි වූ රටක් බාර ගත් බවත් මේ වසර තුන තුළ ආර්ථික ජයග්‍රහනවලට නායකත්වය ලබාදුන්නේ අගමතිවරයා දක්ෂ දේශපාලඥයෙක් බව ඔප්පු කර තිබෙන බව පෙන්වාදුන් අමාත්‍යවරයා විශ්වාසභංගය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමු පියවරක් බවත් රටේ වාසනාවට දැනටමත් එය පරාජය වී අවසන් බවද අමාත්‍යවරයා පැවසීය.

අගමැතිතුමා කියන්නේ දේශපාලන කුහකයෙක් නොවයි

එසේම 2014 අග්‍රාමාත්‍යතුමා කළ කැපවීම මතක් කළ යුතු බවත් කිසිම කුහකකමක් නැතිව මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබාදීමේ යෝජනා පිළිගත් බවත් අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"බොහෝ දෙනා ජනාධිපති අපේක්ෂක වෙන්න කැමැතියි. සිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මාව දේශපාලනයට ගෙනාවේ. 88 ජනාධිපතිවරණයට මුහුණ දෙන්න පොදූ අපේක්ෂකයෙක් තෝරාගන්න සාකච්ඡා කළා. වාමාංශික පක්ෂ සිටියා. 82 වසරේ දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා අපේක්ෂකත්වය ගත්තා. තමන්ගේ අපේක්ෂකයා දාලා පැරැද්දුවා.

ජනාධිපතිව දිනවන්න අග්‍රාමාත්‍යවරයා කැපවුණා

අග්‍රාමත්‍යතුමා කුහකකමින් තොරව එක්සත් ජාතික පක්ෂය සමඟ දිවා රෑ නොබලා ජනාධිපතිතුමා පත් කරන්න කටයුතු කළා. ඒ වෙලාවේ එතුමාට හැකි වුණා, අනෙක් පක්ෂ සමඟ එකතුවෙලා, අනෙකුත් මුස්ලිම් පක්ෂ එකතු කරගෙන, විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ නායකත්වය දීලා, 2015 විප්ලවය සඳහා යොමු කළා. අගමැතිතුමා දක්ෂ දේශපාලඥයෙක් ලෙස ඔප්පු කර තිබෙනවා.

රට අන්ධකාරයට යොමු කර රට ආපස්සට ගෙන යාමයි අරමුණ වී තිබෙන්නේ. හොරකම් කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නම් මෙවැනි තනතුරු දෙනවද? අපි විශේෂයෙන් අගමැතිතුමා මේ ක්‍රම නවත්වන්නයි ආවේ. අපි බොන්ඩ් වංචාව යටගහන්නේ නෑ. අලුත් නීති හදලා මුදල් ආපසු ගන්නවා. ශතයක්වත් රටට අහිමි වෙන්න දෙන්නේ නෑ. එදා අහිමි වූ ට්‍රිලියන් ගණන් අහිමිවීම කතාකරන්නේ නෑ.විශ්වාසභංගය ජනතාව නොමඟ යැවීමේ අසාර්ථක උත්සාහයක්.

රට ලබපු සෑම ජයග්‍රහණයක් පිටුපස අගමැතිතුමා ඉන්නවා

ණයෙන් තැළුණු පොඩි වූ රටක් බාර ගත්තා. මේ වසර තුන තුළ ආර්ථික ජයග්‍රහනවල නායකත්වය ලබාදුන්නේ අගමැතිවරයයි.දැන් ආයෝජනය වර්ධනය වෙලා. විරැකියාව පහළට වැටිලා. රජයේ මූල්‍ය ප්‍රථමවරට අතිරික්තයක් පෙන්නේ පසුගිය වසරේ. මූල්‍ය සැපයුම පාලනය කිරීමට හැකි වී තිබෙනවා. 2018 මාර්තු මස වනවිට විදේශ ආයෝජනවල වර්ධනයක් අත්කර ගනිමින් වැඩිම මුදල වාර්තා කරගෙන තිබෙනවා.ඉන්දියාව සමඟ චීනය සමඟ අත්සන් කළ වෙළඳ ගිවිසුම් නිසා වෙළඳ පොළ වර්ධනය වෙලා. ඉතාම සාධණීය ආර්ථික ක්‍රියාවලියක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අගමැතිතුමා පෞද්ගලිකව කැපවී සිටිනවා. ජනාධිපතිතුමා කැපවීමෙන් ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරනවා. යම් යම් බාධක තිබුණත් එය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න