සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිස අද (04) ආණ්ඩුවෙන් ඉවත්ව තම පාර්ශවයට පැමිණි පසුව තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා දෙයක් ඉතිරි නොකරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රමේෂ් පතිරණ සඳහන් කරයි.
තම පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජන්ද ලක්ෂ 50ක් ලබාගත් බවත් අද රාත්‍රියේ ශ්‍රීලනිප පාර්ශවය තමන්ට එක්වීමෙන් පසුව එම ප්‍රමාණය ලක්ෂ 64ක් වන බවද මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාවාදීම හමුවේ තම ආණ්ඩුවට ගෙදර යන්නට සිදුවූ බවත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මේ වන විට වත්මන් ආණ්ඩුව රීගේනින් ශ්‍රී ලංකා වැඩසටහන නැවත දියත්කර තිබෙන බවය.
එසේම ඉදිරිපත් කර තිබෙන පසුගිය පළාත් පාලන මැතිවරණයේ සිට මෙම විශ්වාසභංග යෝජනාව දක්වා සියළු අවස්ථා වලදී අග්‍රාමාත්‍යවරයාට තිබෙන විශ්වාසය භංගවී තිබෙන බව ඔප්පුවී හමාර බවත් අග්‍රාමාත්‍යවරයා කතාකරන විට එංගලන්තයේ නිදර්ශන ගෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත් වැඩ කරන විට එසේ නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ හේතුවෙන් විශ්වාසභංගයේ ජන්ද විමසීමට පෙර අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
තවද රංගජීව වැනි නිලධාරීන් අද සිරගතකර තිබෙන බවත් ඒ නීතිය අකුරට ක්‍රියාකළ හේතුව නිසා බවත් පැවසූ මන්ත්‍රීවරයා රණවිරුවන් හිරේදමන ආණ්ඩුවේ ගමන වලක්වාලිය යුතු බවද අවධාරණය කර සිටියේය.