අර්ජුන් මහේන්ද්‍රන් ගැන කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද අවස්ථාවක් ඇති නමුත් හෙජිං ගිවිසුමෙන් රටට රුපියල් බිලියන 76ක පාඩුවක් සිදුකල නායකයාට එරෙහිව ඒ සමයේ එවැනි අවස්ථාවක් නොතිබූ බව අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.
පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග විවාදයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙනා ආකාරයට රාජපක්ෂ සමයේ විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා නම් මේ වනවිට ඊට මැදිහත්වන කෙනාගේ හිස ගිං ගඟේ සහ කඳ වලවේ ගඟේ තිබෙන වාතාවරණයක් තිබු බවද ඔහු පැවසීය.
ජනතා මුදල් කාබාසිනියා කළ පාලනයක් යටතේ නිහඬව සිටි පිරිස්, මාධ්‍යවේදීන් සහ දේශපාලකයින් ඝාතනය කරන විට නිහඬව සිටි පිරිස් අද අග්‍රාමාත්‍යවරයාට අභූත චෝදනා ඉදිරිපත් කරන නමුත් ඒ සියල්ල අද ජන්ද විමසීමේදී පරාජයට පත්කරන බවද අමාත්‍යවරයා පැවසීය.
විශ්වාසභංගය නිසැකවම දිනනවා
ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය කර වැරදි නිවැරදි කරගෙන අළුත් ගමනක් යාමට ආණ්ඩුව හිතට ගතයුතු බවත් විශ්වාසභංගය හේතුවෙන් එජාපෙ නව ජවයක් ලැබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ "විසිවාසභංගය දිනුවත් දිණුම් - පැරදුණත් දිනුම් කී උදවියට මේ වන විට එසේ කියන්නට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පැවසූ අමාත්‍යවරයා විශ්වාසභංගය නියත වශයෙන් ආණ්ඩුව ජයගන්නා බවද අවධාරණය කර සිටියේය.
හමුදාව මහත් අභිමානයෙන් සැලකු රටේ හමුදා මුලස්ථානය විකුණා එයින් කොමිස් මුදල්ගත් අය අද රණවිරු දඩයමක් ගැන කතා කරන බවත් යුද්ධයට බයේ රටෙන් පළාගොස් වසර 15ක් සැඟවී සිටි අය ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්කර ගන්නට තරම් පහතට වැටුණු පිරිසක් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒම පිටුපස සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
ගෝඨාභයට භයද ?
මේ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරයා වෙතින් විමසා සිටියේ "ගෝඨාභය එනවට බයද" කියාය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ යුද්ධය මෙහෙයවූ තමන්ගෙන් බය ගැන නොඅසන ලෙසත් බය ගැන දැනගන්න අවශ්‍ය නම් ඒ ගැන ගෝඨාභයගෙන් විමසන ලෙසය.