Language Switcher

V2025

ජනාධිපතිගේ ආර්ථික දැක්ම අපි එකෙන්ම පිළිගන්නවා : මරික්කාර් ප්‍රසිද්ධියේ කියයි !

"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අහන් ඉන්න කොට ඇත්තටම අපිට දැනුන දෙයක් තමයි අපි අවුරුදු ගාණක් පෙනී හිටපු, වාද කරපු, විශ්වාස කරන ආර්ථික දර්ශනය තමයි එතුමා ඉදිරිපත් කළේ.ඒ පිළිබඳව අපි එතුමාට ස්තූතිවන්ත වෙනවා සහ අපි ඒකට එකඟ වෙනවා." යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්කාර් පවසයි .

 "හැබැයි ඒකේ ඇතුලේ අපිට විශාල ප්‍රශ්න කීපයකුත් මතු වෙනවා. මේ ආර්ථික දර්ශනය ඉදිරිපත් කරනකොට පහුගිය කාලයේ වෘත්තීය සමිති උසිගන්වලා ආර්ථිකය restructure කරන එක නවත්වන්න සියලු උපායමාර්ග දාපු පොහොට්ටුවේ අය මේක පිළිගන්නවද කියන එක මේ සභාවට දැනුම් දෙන්න ඕන. " යැයිද මන්ත්‍රීවරයා පවසයි .

මරික්කාර් මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ පාර්ලිමේන්තුව අමතමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

 රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජාසන කතාවේදී කිව්වා මේ රටේ ජාතිවාදය තුරන් කරලා දානවා කියලා . එතුමාත් අපිත් මේ සියලු දෙනාම පෙනී හිටියේ ඒක වෙනුවෙන්. එතකොට මේ රටේ ජාතිවාදය ඇති කරලා, කැලණියේ නයි නටවලා, ඒ වගේම වඳ කොත්තු වඳ දොස්තරලා මවා පාලා ජාතිවාදය රට පුරාම ගෙනියපු පොහොට්ටුවේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ජාතිවාදය නැති කිරීමේ ප්‍රතිපත්තියට එකඟ ද කියලා අපි අහනවා. 

මොකද මේ ඊයේ පෙරේදත් එක ඇමතිවරයෙක් මං දැක්කා එතුමාගේ වොයිස් කට් එකක මේ ජාතිවාදය අවුස්සන්න පොඩි උල්පන්දමක් දෙනවා මාධ්‍ය සාකච්ඡාවක දී .

ඒ වගේම ජනාධිපතිතුමා කිව්වා අවුරුදු දෙකක් රට ආපස්සට ගියා කියලා. අපි පහුගිය අවුරුදු දෙකේම නියෝජ්‍ය කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම මේ රට පොහොර තහනම් කරලා, තෙල් පෝ්ලිම් ඇති කරල, ගෑස් පෝලිම් ඇති කරල, ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති කරල, ළමයින්ට ඉස්කෝලෙ යන්ඩ තිබ්බ තත්ත්වය නැති කරලා, තුන්වේලක් කාපු මිනිස්සු දෙවේලක් කන තත්ත්වයට පත් කරලා ,දෙවේලක් කාපු මිනිස්සු ලෙව කන තත්ත්වයට පත් කරනකොට අපි පැහැදිලිව කිව්වා. ඒ වෙලාවේ මේ පොහොට්ටු කට්ටිය අපිට කෝචොක් කලා. දැන් ජනාධිපතිතුමා ඒක කියනකොට පිළිගන්නවා ද කියල අහන්න අපි කැමතියි. 

ඇත්ත වශයෙන්ම ජනාධිපති තුමාගේ රාජාසන කතාව පොහොට්ටුවේ අයට දුන්න හොඳ කනේ පහරක් කියන එක මම පැහැදිලිවම කියන්න ඕන. අපි අප්පුඩි ගැහුවා . මොකද අපි විශ්වාස කරන ආර්ථික දර්ශනය. අපි පෙනී හිටපු ආර්ථික දර්ශනය. අපි මේ මොහොතෙත් පෙනී ඉන්න ආර්ථික දර්ශනය ඒක. අපි දක්ෂිණාංශික කඳවුරේ මිනිස්සු විදිහට අපිට ඕන ආර්ථික ප්‍රතිපත්ති තමයි එතුමා ඉදිරිපත් කළේ. පොහොට්ටුව ඒක පිළිගන්නවා ද කියලා අපි අහන්න කැමති . 

 ඒ වගේම එතුමා කිව්වා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගේනවා කියලා . අපියි ගෙනාවෙ ඒක. ඒක නැති කරල ඒකාධිපති විස්ස ගෙනාවේ පොහොට්ටුවේ කට්ටිය. තමුන්නාන්සේලා ඒකාධිපති 20 ගේන වෙලාවේ කඩේ ගියේ කොහොමද කියලා කියලා මතක් කර ගන්ඩ කියලා මම කියනවා. එහෙම කඩේ ගිහිල්ලා දැන් ජනාධිපතිතුමා 19 ගේනකොට රෙද්දක් ඇඳගෙන අත උස්සනවා ද කියලත් අහන්න කැමතියි පොහොට්ටුවේ කට්ටියගෙන්.

ඒ වගේම ගිය ආණ්ඩුව කාලේ අපි ගෙනාවා ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමය. දැන් ජනාධිපතිතුමා කියනවා ඒ ක්‍රමය ගේනවා කියලා.

තමුන්නාන්සේලා ආපු ගමන් අහෝසි කරා නේ. දැන් මොකද කියන්නේ? එකඟ වෙනවද ඒකට? .

ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්නල තියෙන, රාජාසන කතාවේ කියලා තියෙන ආර්ථික දර්ශන ක්‍රියාත්මක කරන්න එක අතක් නෙමේ අත් දෙකම උස්සලා අපි සහයෝගය දෙනවා. අපි අහනවා පොහොට්ටුවේ කට්ටියගෙන් රෙද්දක් ඇඳගෙන ඒ සහයෝගය දෙන්න පුලුවන්ද? හැබැයි ඒගොල්ලන්ට ඕන මොකක්ද, මොනවා කරලා හරි ඇමැති කටු ටිකක් අරගෙන කටු සූප්පු කරන්න. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අපි සහයෝගය දෙන්නේ වැඩපිළිවෙළට මිසක ඇමැති කටු සූප්පු කරන්න නෙමෙයි කියලා පැහැදිලිව කියන්න කැමතියි. අපිට ආරංචි දැනටමත් පොහොට්ටුව කට්ටිය ගිහිල්ලා දැනටමත් ජනාධිපතිතුමාට කියනවලු ඇයි මේ සජබ පිටිපස්සේ ඔච්චර යන්නේ, ඔය ඇමතිකම ටික අපිට දෙන්නකෝ කියලා කියනවලු. දැන් තමයි ගිහිල්ලා ජනාධිපතිතුමාගෙන් අහන්නේ මොකක්ද වැඩපිළිවෙළ කියලා. මොකක්ද වැඩපිළිවෙල කියලා දන්නේ නැතුව තමයි මේගොල්ලෝ ඡන්දෙ දීලා තියෙන්නේ ජනාධිපති ගේන්න. ඔන්න නියම දේශප්‍රේමින්.

 දේශප්‍රේමියෝ කියලා කියාගෙන ඒ රෙද්ද අස්සෙ තියෙන හොර තක්කඩිකම් දැන් එළියට එන්නේ ඇමතිකම් ලබා ගැනීම සඳහා. මේ සර්වපාක්ෂික ප්‍රෝඩාව අපි එළිදක්වනවා. මේ සර්වපාක්ෂික ප්‍රෝඩාව ඇමතිකම් ගැනීමේ ප්‍රෝඩාවක් වෙන්න බැහැ. සර්වපාක්ෂික වැඩපිළිවෙලකුයි ඕනේ මේ රටට. ජාත්‍යන්තරය අපේ රට ස්ථාවර ද නැද්ද කියලා බලන්නේ ස්ථාවර රජයක් තිබීමෙන් නෙමෙයි, ස්ථාවර රාජ්‍යයක් තිබිමෙන්. ස්ථාවර රාජ්‍යයක් තියනවනම් අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙන්න ඕන. මර්දනය නතර වෙන්න ඕන. ඒ වගේම පුරවැසි නිදහස තියෙන්න ඕන. නීතියේ ආධිපත්‍යය රකින්න ඕන. ඒ වගේම මාධ්‍ය නිදහස තියෙන්න ඕන. එහෙම නැතුව මේ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා කියලා ස්ථාවර රාජ්‍යයක් ඇති වෙන්නේ නෑ. 

පුරවැසි නිදහස තියෙන ස්ථාවර රාජ්‍යයක් තියෙන්න ඕන. අපි කියන්නේ නෑ ගෙවල් ගිනි තියපු ඒවයෙන් නිදහස් කරන්න , ප්‍රචණ්ඩත්වයට යොමු වෙච්ච අයව බේරගන්න, කිසිසේත්ම අපි පෙනී හිටින්නේ නෑ. අපි ඒකට විරුද්ධයි. මේ 225ම හොරු කියන එකත් පට්ටපල් බොරුවක්. අපි හොරකම් කරලා නෑ නියෝජ්‍ය කතානායකතුමනි, අපිට පිළිගැනීමක් තියෙනවා. මිනිස්සු අපිව පිළිගන්නවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ බලය ගන්න බැරි කට්ටියක් තමයි මහ පාරේ ආණ්ඩු පිහිටුවන්න ඔය 225 ම බොරු කියන කතාව හදන්නේ. බහුතරය හොරු ඉන්නවා.

ඒක ඇත්ත . ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, සර්වපාක්ෂික වැඩපිළිවෙළක් හරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒකට අපට සහයෝගය දෙන්න පුළුවන්. අපිට කියන්න මොකක්ද වැඩපිළිවෙළ කියලා. 19 ගේනවා නම් පාර්ලිමේන්තුව හරහා අපි ඒකට සහයෝගය දෙනවා. ආංශික අධීක්ෂණ කමිටු ගේනකොට, ඒ කියන්නේ ඒක පුස් කමිටුවක් විදිහට නැතුව බලතල සහිත කමිටුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම්, අපි එකට සහයෝගය දෙනවා. විපක්ෂයේ ඉදලා අපේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා එක්ක වැඩ කරන්න පුළුවන් ඒකට. ඒක ප්‍රශ්නයක් නෑ බලතල සහිතව නම් .

 ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙනියන යෝජනා මොනවද කියලා කියන්න. ඒක රටට හොඳ නම් අපි ඒකට උදවු කරනවා. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන නැවත restructure කරනවා නම් පොහොට්ටුවේ අයට අත උස්සන්න බැරි උනාට අපි අත උස්සනවා.

 .අද තාක්ෂණයේ දියුණුවත් එක්ක කල්පනා කරලා බලන්න. උදාහරණයක් දෙන්නම් තැපැල් දෙපාර්තමේන්තුව මිලියන 79ක් යනවා නඩත්තු කරන්න. අද අන්තර්ජාලය මෙච්චර දියුණුයි තාක්ෂණය දියුණුයි. මේවා නැවත හිතල බලන්න ඕන. පොහොට්ටුවේ කට්ටිය ළිං මැඩි මානසිකත්වයෙන් බලනව වගේ බලන්න අපි සූදානම් නැහැ. ඒ හින්දා කුහක කවුද කියලා හිතට තට්ටුකරලා අහගන්න තමන්ගෙන්ම. අවස්ථාවාදී කවුද කියලා හිතලා තට්ටුකරලා බලන්න තමන්ගේම .බොරු දේශප්‍රේමියෝ කවුද කියලා හිතට තට්ටුකරලා බලන්න තමන්ගේම. ඒ නිසා පැහැදිලිව කියන්නේ මේ වැඩපිළිවෙලවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. රටේ මූල්‍ය බලය ව්‍යවස්ථාදායකය හරහා තමයි තියෙන්නේ . නීති හදන තැන පාර්ලිමේන්තුව. අපිට ඒකට සහයෝගය දෙන්න පුළුවන්. පොහොට්ටුවේ කට්ටියට වගේ ඇමතිකම් ඕන්නෑ ඒකට.

මේ සර්වපාක්ෂික වැඩපිළිවෙළ කියන්නේ, ගෑස් රුපියල් දෙසිය හැට හතරකින් අඩු කරල, විදුලි බිල264% කින් වැඩි කරන එක නෙමෙයි. කොළඹ නගරයේ නාගරික වතු නිවාස වල ජීවත්වන ජනතාව පොල්ගෙඩියෙ ඉඳලා අබ ඇට ඉඳලා හැම දේම සල්ලි දීල ගන්න ඕන. අද තෙල් නැතුව ඒ මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නවා. පහුගිය කාලේ ගෑස් නැතුව ලාම්පුතෙල් වලට ගිය අය ලාම්පු තෙලුත් නැතුව නන්නත්තාර වෙලා. අද ඒ මිනිස්සුන්ට unit 0- 30 වෙනකම් සියට 264 කින් වැඩි කරහම 31-60 වෙනකන් 211 කින් වැඩි කලහමමිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. මේකද සර්ව පාක්ෂික වැඩපිළිවෙළ කියන්නේ. 

ඒ නිසා කරුණාකරලා තවදුරටත් ජනතාවගේ වියදම වැඩි කරන්නැතුව පුළුවන් තරම් සහන ලබාදෙන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට දූෂණය නතර කරන්න ඕන. 

අපි අහන්න කැමතියි මේ කතාව. මහින්ද හොරා කියලා අපිට කියලා දුන්නේ කවුද?රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මේ පාර්ලිමේන්තුවෙදි ම. දැන් ඒක අන්තර්ජාලයේ සැරිසරනවා. දැන් ඒක වලංගු ද? රනිල් වික්‍රමසිංහ මහත්මයාව මහ බැංකු හොරා කියලා කිව්වේ කවුද? දිනේෂ් ගුණවර්ධන මහත්මයා. දැන් ඒක නැද්ද?. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයාව හිරේ දානකම් නින්ද යන්නෑ කිව්වෙ කවුද?.මහින්දානන්ද අලුත්ගමගේ. දැන් කොහොමද නින්ද යනවා ද.

රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න මොලේ අමාරුවක් නෑ කිව්වා. කවුද කිව්වේ? අපි නෙමෙයි රෝහිත අබේගුණවර්ධන . දැන් නින්ද යනවද දන්නෑ රෝහිත අබේගුණවර්ධනට. අපි පැහැදිලිව එකක් කියන්න ඕන.මේ අරගලය මතුවෙච්ච සැබෑ කාරණා ටික අපි අවබෝධ කර ගන්ඩ ඕන. අරගලය ගෝල්ෆේස් එකේ ඉවර වෙන්න පුළුවන්. හන්දිවල ඉවර වෙන්න පුළුවන් . ගෙවල් ඇතුලෙ මනස ඇතුලේ අරගලය තියෙනවා. සම්ප්‍රදායික යුඑන්පී කාරයන්ගෙ ශ්‍රී ලංකා කාරයන්ගෙ දරුවෝ තමයි මේ පාරට බැස්සේ. ඒ දරුවෝ මොනවද කිව්වෙ. ඒ තරුණ තරුණියෝ කිව්වේ අපේ අනාගතය නැති කරපු, ජාතික සම්පත් හොරකම් කරපු හොරු ටික එලවන්න ඔවුන්ට දඬුවම් දෙන්න කියලා. පොහොට්ටුවේ ඉන්න දූෂිතයෝ එක්ක අපිට එකට ඉඳ ගන්න බැහැ. ඒ නිසා මං නම් කියන්නෙ නැහැ මෙතන. ඒගොල්ලො ගෙන් අපි අහනවා ඒගොල්ලො මහ බැංකු හොරා කියපු එක්කෙනත් එක්ක එකට වාඩි වෙන්න පුළුවන් .මේ තමයි දිව දෙකේ බොරු දේශප්‍රේමියෝ. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් එකක් අහන්න කැමතියි. දෙවියෝ හැම එක්කෙනාට ම අවසාන අවස්ථාවක් දෙනවා. මහින්ද මහත්තයට අවසාන අවස්තාවක් දුන්නා. හොරා කියලා එලවපු මහින්ද මහත්තයව නැවත 2019 අගමැති කරලා හැදෙන්න අවස්ථාවක් දුන්නා. ආයෙම පවුල ගෙනත් දාගෙන මේ රට කාබාසිනියා කරලා දැම්මා. 

දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවසාන අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් අහනවා, ඔබතුමා ස්ථිරසාරව කියනවද පොහොට්ටුවේ දූෂිත හොර නඩය හිරේ දානවා ද නැද්ද කියන එක අපිට කියන්න. අපිට අලුතින් හිතන්න පුළුවන් එතකොට. එහෙම නැතුව ඇමතිකමකට ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක බුදියගෙන පාවලා දෙන්න අපිට බෑ. ඒ වගේම තව ප්‍රශ්නයක් අහනව ජනාධිපතිතුමාගෙන්. අපි IMF එකට යන්න කියලා දිගින් දිගටම කියද්දී, අපිට කෝචොක් කලා. මෙතන ඉඳලා කබ්රාල් කියන ද්‍රෝහියා අපිට හිනා උනා. අපිට අවඥා කළා. මං කියනවා තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තුව හරහා දාලා මොල හතේ බැසිල් රාජපක්ෂයි, ආර්ථිකය කුඩුපට්ටම් කරපු කබ්බ්‍රාල් ටයි දඬුවම් කරනවා ද. එතකොට ඒ ගොල්ලෝ මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරලා වලපල්ලට දැම්මෙ කොහොමද කියලා හෙළි කරනවද කියලා අපි අහන්න කැමතියි.

ඒ වගේම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැම පක්ෂය ම එකට එකතු කරලා ආණ්ඩු කරන එක නෙමෙයි. එතකොට විපක්ෂයක් නෑ. විපක්ෂයක් නැති උනාම ඔක්කොම එකට එකතු වෙලා හොරකම් කරන්න පුරුදු වේවි. ඩීල් දාන්න සෙට් වේවි. එතකොට හොරකම් දූෂණ වංචා ගැන එළිදක්වන්නෙ කවුද? හැමෝම එකතු වෙලා ආණ්ඩු හැදුවොත් තමයි 225ම හොරු කියලා අර පාරේ ආණ්ඩු පිහිටවන්න හදන කට්ටිය හදුන මතය තවදුරටත් සමාජගත වෙන්නේ. ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විපක්ෂයේ ඉඳගෙන මේ රට ගොඩ දාන්න, මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න, ලෝක බැංකුවට යන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන restructure කරන්න, අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙනවා.මේ වෘත්තීය සමිති කුලප්පු කරල මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරපු අය උදවු කරනවද කියල අහන්න කැමතියි.

අද මේ රටේ තරුණ තරුණියෝ රට යනවා. කොහෙද යන්නෙ? චීනෙ යනවද? කියුබාවට යනවද? රුසියාවට යනවද? නෑ. ඒ ගොල්ල යන්නේ ඇමරිකාවට යුරෝපයට. දක්ෂිණාංශික ආර්ථික රටාවක් තියෙන රටවල් වලට. ඒ නිසා තවදුරටත් මේ රටේ කඳවුරු දෙකයි තියෙන්නේ. එකක් රැඩිකල් කදවුර. අනික දක්ෂිණාංශික කදවුර. ඒ නිසා දක්ෂිණාංශික කඳවුරට රැඩිකල් කඳවුරේ අය අවස්ථාවාදීව ආවා කියලා ඒක දක්ෂිණාංශික වෙන්නේ නැහැ.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ කතාව අවසන් කරන්න කලින් මම තව එක දෙයක් කියන්න කැමතියි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවංකවම සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න උවමනාවක් තියෙනවා නම් මේ පිහිටුවන බල සහිත කමිටු වල සභාපති ධූර දෙන්න විපක්ෂයට . ඒ වගේම අපි එතුමාගෙන් අහන්න කැමතියි මේ රටේ යථාර්ථය ඇත්ත එළිදක්වපු රංජන් රාමනායකට නිදහස ලබා දෙන්න .හොරකම් නොකරපු කුඩු විකුනපු නැති මිනී මරපු නැති ස්ත්‍රී දූෂණ කරපු නැති වංචා නැති රංජන් රංජන් රාමනායක ව නිදහස් කරන්න ඇයි මෙච්චර කල් ගන්නේ.කුඩු විකුනපු කුඩු දුමියා වත් නිදහස් කළා. අද ඒ නාලිකාව රෙදි ගලවා ගෙන කඩේ යනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම ඔබතුමා රන්ජන්රාමනායක ව නිදහස් කරල ආදර්ශයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.