Language Switcher

V2025

ජනපති - අගමැති ගැටුමක් : ආණ්ඩුව ව්‍යවස්ථා අර්බුදයක !

විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කල ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමට තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග එක්ව 'යහපාලන ජාතික ආණ්ඩුව' ඉදිරියට පවත්වාගෙන යන බවත්, විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න 'බීබීසි සිංහල සේවය'ට අදහස් දක්වමින් පවසද්දී, ආණ්ඩුව තුළ අනිවාර්යයෙන් රැඳී සිටිමින් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව ඇමති පදවිවල දිගටම රැඳී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එම ප්‍රකාශය කළේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමඟ ඊයේ (අප්‍රේල් 05) ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව 'බීබීසී සිංහල සේවය' සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

rajitha 1000px

විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

ශ්‍රීලනිපය දෙකඩ වේ !

 ආණ්‌ඩුව නියෝජනය කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්‌නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා, එස්‌. බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් පෙරේදා (04) පැවති විශ්වාස භංග යෝජනාවට අදාල ඡන්දයේදී පක්ෂව ඡන්දය දුන්හ.

ඒ අතර ආණ්‌ඩුව නියෝජනය කරන මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්‌තාපා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මොහාන් ලාල් ග්‍රේරු, ශ්‍රියාණි විඡේවික්‍රම, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, එම්. එල්. එම්. හිස්‌බුල්ලා, ඒ. එච්. එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, සාරතී දුෂ්මන්ත, මනූෂ නානායක්‌කාර, ඉන්දික බණ්‌ඩාරනායක, නිශාන්ත මුතුහෙට්‌ටිගම, මලිත් ජයතිලක, වීරකුමාර දිසානායක, කේ. කේ. මස්‌තාන් යන ශ්‍රීලනිප ඇමතිවරුන්ගෙන් බහුතරය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

මේ අතර ඊයේ උදෑසන ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළ සහ නොකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ කණ්ඩායම් වෙන වෙනම හමු වී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස කුමක්ද ?

අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් සහ ඇමති තනතුරුවලින් ඉවත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග අනුව පමණක් බවය.

අගමැතිවරයා පිළිබද අවිශ්වාසයක් තිබුණ ද කැබිනට් මණ්ඩලයේ රැඳී සිටිය හැකි බව එස්.බී දිසානායක අමාත්‍යවරයා පැවසීය.

මෙම ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නොවන අතර, අගමැතිවරයාට කැමති පරිදි ඇමතිවරුන් ඉවත් කළ නොහැකි බව අමාත්‍ය එස්.බී දිසානායක තවදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, විපක්ෂයේ අවශ්‍යතාවලට ආණ්ඩුව තුළ රැඳී සිටිමින් ආණ්ඩුවත් රටත් අස්ථාවර කිරීම මෙම පිරිසේ අරමුණ වුවත් එවැනි තත්ත්වයක් ඇති වීමට කිසි ලෙසකින් ඉඩ නොදෙන අතර, මින් පසු ජනතාවට ආණ්ඩුවෙන් ඇසෙන්නේ එක හඬක් පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

එජාපයෙන් ජනාධිපතිට ලිපියක් :

 මේ අතරතුර පෙරේදා (04) රාත්‍රියේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිස්අට දෙනකු අත්සන් කළ ලිපියක් අගමැතිවරයාට ඉදිරිපත් කර ඇත.

එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්ඩි.ඩි.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා හා චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබුණි.

"අපි මන්ත්‍රී කණ්ඩායමක් ලෙස දැඩි ක්‍රියාමාර්ග ගන්නවා ඔවුන් ඉවත් කළේ නැත්නම්," එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් එම ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කර එම තනතුරු තමන්ට ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම උත්සාහය කරන බවය.

විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය ලබාගැනීම සදහා අගමැතිවරයා මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායමට තනතුරු ලබාදීමට පොරොන්දු වී ඇති බවට ඔහු චෝදනා කරයි.

 

අවුල දෝෂාභියෝගයක් දක්වා යයි ද ?

namal

"පනස් හතරක් ලෙස තිබූ තම පිලෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක්"

 මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ,

විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන ලෙස නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැවසූ ජනාධිපතිවරයා පසුව එය මඟ හැර සිටි බවයි.

කෙසේ වෙතත්, පනස් හතරක් ලෙස තිබූ තම පිළෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.

විශ්වාස භංගයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' වෙත අදහස් දැක්වූ 'පොහොට්ටු පක්ෂයේ' ප්‍රධානියකු පැවසුයේ, ඇමතිධුර සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය ව්‍යවස්ථා අර්බුදයක් දක්වා ඉදිරියට යාමේ ලකුණු පහළවී ඇති බවයි.

යහපාලන ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් මෙම තත්වය තුල ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් දෝෂාභියෝගයක් ගෙන ඒමේ ඉඩක් ඇති බවත් ඔහු කියා සිටියේය.

මෙවැනි තත්වයක් තුල වහාම මහ මැතිවරණයක් කැඳවා ගැනීමට අවශ්‍ය දේශපාලන වටපිටාවක් නිර්මාණය කර ගැනීම තම පක්ෂයේ ඉලක්කය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.