Language Switcher

V2025

ව්‍යාපාරික ස්ථානවලට ලබාදෙන සහන ආගමික ස්ථානවලටත් ඕනද ?

විදුලි ගාස්තුවේ නව සංශෝධනය සමඟ විදුලි බිල ඉහළ ගොස් ඇති අතර ඒ සම්බන්ධ ජනතා මැසිවිලි දෙවැනි කොටගෙන බෞද්ධ භික්ෂූන් අතරත් විරෝධයක් මතුව තිබේ.

ජනතා විරෝධය මැසිවිලිවලට පමණක් සීමාවී ඇත්තේ කොහොමටත් වැඩිවූ විදුලි බිල ගෙවීමට ඔවුන්ට සිදුව ඇති නිසාය. නැත්නම් විදුලි බලය විසන්ධිවීමට ලක්වීමට ජනතාවට සිදුවේ. ඒ අනුව අර්බුදය හමුවේ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නට ජනතාවට සිදුව ඇත. සරල තර්කයකට අනුව අඩු විදුලි පාරිභෝගිකයකුට අඩු මුදලක් සහ වැඩි විදුලි පාරිභෝගිකයකුට වැඩි මුදලක් මෙහිදී ගෙවීමට සිදුවන බව පෙන්නුම් කරත් එය සියයට සියයක් නිවැරදි නොවේ.

ඒ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය සපයන කර්මාන්ත ක්ෂේත්‍රයට සිය කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය නිසාය. නැත්නම් ආර්ථික ක්ෂේත්‍රයේ පමණක් නොව දිග්ගැස්සෙන සමාජීය අර්බුදයක් මතුවීමේ අවධානම ඇති නිසාය.

මේ පසුබිමේ කොතරම් අකමැති වුවත් පිළිගන්න සිදුවන්නේ නිෂ්පාදන හෝ සේවා ආර්ථිකයට දායකත්වය නොදෙන ආගමික ස්ථාන වල අධික විදුලි පිරිවැය ආර්ථික පීඩනය තවත් උග්‍ර කරන්නක් බවයි.

ව්‍යාපාරික ස්ථානවලට දෙන සහන විහාරස්ථානවලට නැද්ද ? මැදගොඩ අභය තිස්ස හිමි

එහෙත් මේ සම්බන්ධයෙන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි අදහස් දක්වා ඇත්තේ නව විදුලි ගාස්තු සංශෝධනයට අදාලව ව්‍යාපාරික ස්ථාවලට රජය විසින් සහන ලබා දෙන නමුත් විහාරස්ථාන සඳහා එම සහනය ලබා නොදන බව චෝදනා කරමින්ය .

එසේම විදුලි ඒකක 180 ඉක්මවන විහාරස්ථානවල එක් ඒකකයක් සඳහා රුපියල් 65 ක් බැගින් අයකරන විට ඒකක 180 ඉක්මවන ව්‍යාපාරික ස්ථානවලින් එක් ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 32 ක් වැනි මුදලක් බවත්, ආගමික ස්ථානවලට නොමැති සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ද යන්නත් අභය තිස්ස හිමි ප්‍රශ්න කරයි.

නව විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව තම විහාරස්ථානයේ විදුලි බිල පස් ගුණයකින් වැඩි වී ඇති බවත්, මෙතෙක් රු. 12,000.00ක්ව පැවැති මාසික බිල මේ වන විට රු. 60,000.00 දක්වා වැඩි වී ඇති බවත් පවසන අභයතිස්ස හිමි වැඩිදුරටත් පැවසුවේ වැඩි වූ බිල කිසිසේත්ම ගෙවිය නොහැකි බවයි.

තමන් වහන්සේට මෙම මුදල ගෙවීමට හැකි වුවද කිසිසේත්ම වැඩි වූ ප්‍රමාණය නොගෙවන බවත්, මෙතෙක් මාසිකව ගෙවූ 12,000 මුදල පමණක් ගෙවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත .

V8 වලින් වඩින හිමිවරුන් විදුලි බිල ගැන කතා කරනවා - කුමාර වෙල්ගම

මේ අතර වදුලි බිලට අදාලව අද පන්සල් ගැන කතා කරන්නේ V8 එකේ යන හාමුදුරුවරුවරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී ආගමික සිද්ධස්ථානවල විදුලි බිල වෙනුවෙන් සහන ක්‍රමයකට සූර්ය පැනල ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“පන්සල් ගැන කතා කරන කොට දැන් අද පන්සල් ගැන ලොකුවටම කතා කරන්නේ V8 එකේ යන හාමුදුරුවරු. V8 එකේ යන හාමුදුරුවරු තමයි පන්සල් ගැන කතා කරන්නේ. පොඩි හාමුදුරුවරු ගැන කතා කරනව ඇත. නමුත් ආණ්ඩුවක් එනකොට සමහර හාමුදුරුවරු ඉන්නව ඒයාල තමයි ඉදිරියට එන්නේ. ඒ්ගොල්ලො එනව යනවා. එනව යනව.

දැන් මං මේ කතාකරන හාමුදුරුවරුත් මං කියන්නේ V8 එකේ යන්නේ. ඉතින් ඒ් ලොකු පන්සල් ගැන මම කතා කරන්න යන්නෙ නෑ. නමුත් අපි පොඩි පන්සල්වලට දෙනකොට සීයට හතරෙ පොලියට දෙන්න.”

මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බවත්, සෙස සූර්ය පැනල ලබාදීමේදී අඩු පොලියට හෝ පොලී රහිත ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වන බවයි.