සනීපාරක්ෂක තුවා වෙනුවෙන් බදු සහනයක් !

සනීපාරක්ෂක තුවා වෙනුවෙන් බදු සහනයක් !

කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

තවද ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර තිබේ.

ඒ අනුව මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක- 60ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් - රුපියල් 270ක් වේ. තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි බදු සහන ලබාදීමට රජයේ බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි .

නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙළ ද මේ වන විට සකස් කර ඇත.

ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% - 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇත. දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී ඇත. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වේ.

මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දේ.

සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා එම බදු අඩු කරන ලෙස දේශීය නිෂ්පාදකයින් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

- lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න