Language Switcher

V2025

එජාප තනතුරු ගන්න අයදුම්පත්‍ර දහස් ගණනක් !

එක්සත් ජාතික පක්ෂය 2023 වසර සඳහා ආසන සංවිධායකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත අතර මේ වන විට ඊට අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බව වාර්තා වෙයි.

අයදුම්පත් යොමුකළ පිරිස අතර බහුතරයක් වෘත්තිකයන් වීම කැපී පෙනෙන කරුණක් බවත් එජාප ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සුදුස්සන් තෝරා ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසන්නේ විනයගරුක පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් , දිස්ත්‍රික් කළමනාකරුවන් සහ ආසන කළමනාකරුවන් පත්කර ගැනීමේදී උගත් බුද්ධිමත් තරුණ පිරිස වෙත වැඩි අවධානයක් ලබාදෙන ලෙස පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්වරයා මෙසේද පැවසීය.

" එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක , දිස්ත්‍රික් කළමනාකරු, ආසන කළමනාකරු යන ධූර සඳහා අයදුම්පත්‍ර දහසකට වඩා ලැබී තිබෙනවා. ,ඒ සියලු අයදුම්පත්‍ර සලකා බැලීම සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 8 කින් සමන්විත සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ආසන සංවිධායක වරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන්, ආසන කළමනාකරුවන් බඳවා ගැනීම යුහුසුළු කිරීමට කටයුතු කරනවා.

ඊට අමතරව තවත් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අය ඉන්නවා නම් දෙසම්බර්මාසය තුළ එම අයදුම්පත්‍ර යොමුකිරීමට අවස්ථාව තිබෙනවා."