Language Switcher

V2025

සිහිනයක් ජයගත් තරගයක් !

උද්වේගකර තරගයකින් පසු, ලෝක ශුර ප්‍රංශය පරදවමින් ආර්ජන්ටිනාව 2022 ලෝක පාපන්දු කුසලානය දිනා ගත්තේය.

තරගයේ ජය පරාජය තීරණය කිරීමට මිනිත්තු 90 ක කාලය මෙන්ම මිනිත්තු 30 ක අමතර කාලයක් සහ දඬුවම් පහර එල්ල කිරීමේ වටයක්ද විය.

තරගය නිමාවට පත්වුයේ දඬුවම් පහර 4ට 2ක් ලෙස ආර්ජන්ටිනාවට තරගයේ ජය හිමිකර දෙමින්ය.

ආර්ජන්ටිනාව 2022 ලෝක කුසලානය දිනා ගත්තේ මෑත ඉතිහාසයේ වඩාත් උද්වේගකර අවසන් මහා තරගය මෙය බවට පත් කරමිනි.

මෙවර ආර්ජන්ටිනාව ලෝක පාපන්දු කුසලානය ජය ලබන්නේ වසර 36කට පසුවය.

1986 දී ඔවුන් අවසන් වරට ලෝක පාපන්දු කුසලාන ජය ලැබීය. 1978 දී ද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය ලැබුවේ ආර්ජන්ටිනාවය.

ලයනල් මෙසී අවසානයේ ඔහුගේ ලෝක කුසලාන සිහිනය සාක්ෂාත් කර ගත්තේ ආර්ජන්ටිනාව ඔවුන්ගේ තුන්වන පාපන්දු කිරුළ දඩුවම් පහරින් දිනා ගැනීමත් සමඟය.

කටාර්හි ලුසේල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගය පාපන්දු තරගාවලි ඉතිහාසයේ විශිෂ්ටතම අවසන් තරගය බව විචාරකයෝ පවසති.

ආර්ජන්ටිනාව 1986 න් පසු පළමු ශූරතාව හමිකර ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසුණු අතර ප්‍රංශය උත්සාහ කරනු ලැබුවේ පිට පිට ලෝක කුසලාන දිනා ගන්නා තුන්වැනි රට බවට පත්වීමටය.

35 හැවිරිදි මෙසීගේ ප්‍රතිවිරුද්ධ ක්‍රීඩක කෙලියන් එම්බාපේ ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීම අවසන් මහා තරගයේ කැපී පෙනිණි.

ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝල ත්‍රිත්වයක් වාර්තා වන්නේ 1966 වසරට පසුව වුවත් ප්‍රංශයේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

අවසන් මහා තරගයේදී මෙසී ගෝල දෙකක් සහ ඩි මරියා ලබාගත් ගෝලයක් සමගින් ආර්ජන්ටිනාව ගෝල 3ක් රැස් කළේය.

ප්‍රංශය වෙනුවෙන් කෙලියන් එම්බාපේ ගෝල ත්‍රිත්වයක් ලබා ගත්තේය.

ආජන්ටිනාව වෙනුවෙන් ලයනල් මෙසී 22 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් වාර්තා කළ අතර ඩි මරියා 36 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කිරීමත් සමග ආර්ජන්ටිනාව ගෝල 2-0ක් ලෙස තරගයේ මුල් කාලසීමාව තුළම පෙරමුණ ගෙන සිටියේය.

එහෙත් අනපෙක්ෂිත ලෙස එම්බාපේ හදිසි ගෝල 2ක් රැසක් කිරීමත් සමග 82 වැනි මිනිත්තුව වන විට කණ්ඩායම් දෙකම ගෝල 2ට 2ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

අනතුරුව තරගයේ ජයග්‍රහණය සඳහා මිනිත්තු 15 බැගින් අතිරේක කාල 2ක් ලබා දුන් අතර එහිදී දෙපිලම ගෝලය බැගින් රැස් කිරීම හේතුවෙන් ලකුණු සටහන ගෝල 3ට 3ක් ලෙස දැක්විණ.

අනතුරුව ජයග්‍රහණය තීරණය කරනු ලැබුවේ දඬුවම් පහර වලිනි.

එහිදී ගෝල 4ට 2ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනාව සමත්විය.

ආර්ජන්ටිනාවේ ජනප්‍රිය ක්‍රීඩක ලයනල් මෙසීට තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනැමෙන රන් පාපන්දුව පිරිනමන ලදී.

ලෝක කුසලාන ඉතිහාසයේ රන් පාපන්දුව දෙවරක් දිනාගත් එකම ක්‍රීඩකයා බවට මෙසී පත්විය.

තරගාවලියේ වැඩිම ගෝල හිමිකරගත් ක්‍රීඩකයාට පිරිනැමෙන රන් සපත්තුව (2022 FIFA World Cup Golden Boot award ) හිමි කර ගැනීමට ප්‍රංශයේ එම්බාපේ සමත්විය.

තරගාවලිය තුළ එම්බාපේ ගෝල 8 ක් රැස්කළ අතර ලයනල් මෙසී (ආජන්ටිනාව) ගෝල 7ක් රැසක් කර තිබුණි.

2022 ලෝක කුසලාන පාපන්දු කුසලානය හිමි කර ගත් ආර්ජන්ටිනා කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 42කි.

බීබීසී - සිංහල