Language Switcher

V2025

වෙළෙඳ ගිවිසුමේ සාකච්ඡාවකට තායිලන්ත නියෝජිතයින් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supthaweethum) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විතය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වෙන අතර භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සිදු කළ අපනයන ඩොලර් මිලියන 59 ක් වන අතර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ ආනයන ඩොලර් මිලියන 355කි. තායිලන්තයට වාසිදායක වෙළඳ ශේෂයක් පවතින පසුබිමක් තුළ මෙම සාකච්ඡා ආරම්භ කෙරෙන අතර තායිලන්ත ප්‍රවේශය හරහා තායි වෙළඳපොල පමණක් නොව අනෙකුත් ආසියාන් (ASEAN) වෙළඳපොලවල අපගේ අපනයන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වෙළඳාමට පවතින තීරුබදු නොවන වෙළඳ බාධක අඩු කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.

ශ්‍රී ලංකාවේ මැණික්, තේ (කළු) යනාදී අපනයන සඳහා විශාල විභවතාවයක් තායිලන්ත වෙළඳපොල තුල පවතින අතර මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම හරහා දෙරට අතර පවතින වෙළඳාම පුළුල් කරගැනීමට හා නව ක්ෂේත්‍රවල පවත්නා අවස්ථා සක්‍රීය කිරීමට මාර්ග විවෘත වනු ඇත.

මෙම සාකච්ඡා සදහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව සහභාගී වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයෙහි වෙළඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද ඊට ඇතුළත්ය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, දේශීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත සංගම් විසින් ඉදිරිපත් කරන ලද නිශ්චිත ඉල්ලීම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.