Language Switcher

V2025

සම්මුති ආණ්ඩුව ස්ථිරයි : අමුණුගම කමිටු වාර්තාව ළඟදීම ජනාධිපතිට

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පොදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යනය කෙරෙමින් සිටින බව අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ දී ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු සැලසුම් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීම සිය කමිටුවේ අරමුණ වී ඇති බවද සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි තම කමිටුව විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එංගලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ඔහුට භාරදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස අමාත්‍ය සරත් අමුණුගම මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කටයුතු කරන අතර එය ජනාධිපතිවරයා විසින් පත්කරණු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුව සමඟ එක් වූ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වීමත් සමඟ සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේය.

ඒ අනුව ඉදිරියේ දී සම්මුතිවාදි ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය මෙම කමිටු නිර්දේශ සහ ඊට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය මත සිදුවීමට නියමිතව ඇත.

යහපාලනය දරාගත නොහැකි පාර්ශව දේශපාලන යතාර්ථය දුෂණය කරනවා - ශ්‍රීලනිප

කෙසේ නමුත් ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන ඉදිරි දෙවසරක කාලය සම්මුති ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට හැකි බවට විශ්වාසයක් පවතින බවය. එසේම මේ දේශපාලන පසුබිම තෙරුම්ගත යුතුව තිබෙන්නේ ජනාධිපතිවරයා 2015 දී ලැබූ ජනවරමට අනුව රටේ පාලනය ගෙනයාම සඳහා ශ්‍රීලනිප සහය දෙන්නේ කෙසේද යන්න සම්බන්ධව මිස එජාප ආණ්ඩුවක කොටස්කරුවන් වීමක් ලෙස නොවන බවත් යහපාලන ප්‍රතිපත්ති දරාගත නොහැකි පාර්ශව විසින් මේ දේශපාලන පසුබිම දුෂණය කරමින් සිටින බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.