Language Switcher

V2025

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට නවසිලන්තයට යන්නට ඇමති අවසරය තවමත් නෑ !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපති හා ලේකම් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නවසිලන්තයට යාමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ඉල්ලා තිබුණද මේ දක්වා ඊට අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හටගෙන තිබෙන අර්බුදය හේතුවෙන් හුදු පුද්ගලික කරුණු පදනම් කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

එසේම ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර තිබූ අන්‍යනොන්‍ය අවබෝධය සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ඇති බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් වන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුබද්ධ ක්‍රීඩා සංගමයක් බව පෙන්වාදෙන අප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දේශපාලන අතපෙවීම් පිළිබඳව දිගින් දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත වාර්තා වීමෙන් පසු ඒ සඳහා කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෑතකදී ත්‍රී පුද්ගල කමිටුවක් පවා පත් කර ඇති බවය.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගයෙන් කටයුතු නොකිරීම මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමක් අභියසට ළගා වෙමින් තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.