Language Switcher

V2025

ජවිපෙ කාඩර් එක ආගමානුකූල ජීවිතයක !

ආගමට අනුව ජීවත්වන පිරිස අතරින් ඉදිරියෙන්ම සිටින්නේ තම කණ්ඩායමේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

තමන් බුද්ධාගමට ගරු කරන්නේ පවුලෙන් ආ නිසා නොව තමන් බුද්ධාගම සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ඒ ගැන හදාරා ඇති නිසා බවද ඔහු පවසයි.

ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින්ය.

වත්මන් ආණ්ඩුව පන්සිල් පද එකක්වත් රකින්නේ නැති බවත් ඔවුන් ආගමානුකූලව කටයුතු නොකරන බවත් සඳහන් කරන ඔහු බෞද්ධයන් විසින් අනෙක් ආගම්වලට විරුද්ධව ජනතාව උසිගන්වා නම් ඊට තමන් විරුද්ධ බවත් කියා සිටියේය.

තම දේශපාලන ව්‍යාපාරය ආගම් විරෝධී එකක් නොවන බවත් ආගම් වලට ගරු කරන ආගම් ඇදහීමට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

මීට පෙර පෞද්ගලික දේපළ ක්‍රමයට එරෙහි සමාජවාදී ප්‍රතිපත්තින්ද ජවිපෙ ඉවත්වූ බව ප්‍රකාශයට පත්කෙරුණු අතර ඒ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පෞද්ගලික දේපළ පවරා ගැනෙනු ඇති බවට එල්ලවූ චෝදනාව හමුවේය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විචාරකයන් පවසන්නේ, ජවිපෙ මේ වන විට මාක්ස් ලෙනින්වාදී ප්‍රතිපත්තියෙන් බැහැරව ලිබරල් දේශපාලනය වැළඳ ගනිමින් සිටින බවය. එහිදී දේශපාලන උපක්‍රමයක් වශයෙන් දූෂණ විරෝධය සටන් පාඨයක් ලෙස යොදාගෙන ඇති බවත් විචාරක මතය වී තිබේ. ජවිපෙ මේ වෙනසට හේතුව වී ඇත්තේ රට මුහුණදී ඇති අර්බුදය සඳහා සමාජවාදය තුළ විකල්පයක් නොතිබීම නිසා බවත් විචාරකයන් පවසයි.