Language Switcher

V2025

විමල් කියන - මහින්දව වාටියට දමන ගෝඩ් ෆාදර් "බැසිල්" : ආචාර්ය පඬියා "චරිත" ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංග යෝජනාව ඒම හදිසියේ සිදුකල දෙයක් නොව සැලසුම් සහගත දේශපාලන කටයුත්තක් බවත් පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ සූදානම ඒ තුළ තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම වැරදි බව කියන "සමහර පඬියෝ" ඒ බව නොදන්නා බවත් ඒ සමහර "ආචාර්ය පඬියෝ" පවසන ලෙස තම පාර්ශවය මෙතෙක් ගනුලැබූ සියළු තීරණ වැරදි විය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා ඇත්තේ මෙරට ප්‍රසිද්ධ පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.

"ආචාර්ය පඬියෝ" පවසන ආකාරයට බැලුවහොත් 2010 පෙබරවාරි 18 නුගේගොඩන් පටන් ගත්ත සටනක් වැරැදි විය යුතු බවත් ඒ තම පාර්ශවය එම කටයුතුවලදී පඬියන්ගෙන් අසා, පඬියගෙන් උපදෙස් ගෙන නොමැති නිසා බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ පඬියන් නොදැන සිටියාට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීන්දුව ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් ඒ තමන් හැර බැසිල් රාජපක්ෂ ඇතුළු අනෙක් පක්ෂ නායකයන් සියළු දෙනා සිටි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමකදී බවය.

charitha h 1000px
"ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ ඇයිදැයි ඇසීමෙන් දැන් එතරම් වැඩක් වෙන්නේ නැති නමුත් දේශපාලන වශයෙන් මේ තෝරාගැනීම නිවැරිදි දැයි යලිත් වරක් විමසා බැලීම අනාගතය පැත්තෙන් ඉතාමත් වැදගත්ය. දේශපාලනයේ දි සටන් තේරිය යුත්තේ විරුද්ධවාදියාට වඩා තමන්ගේ ශක්තිය වැඩිකර ගැනීමේ අර්ථයෙන් මිස තමන් සතුව තියෙන බලය අවුල් කරගන්නා ආකාරයෙන් නොවන බව තේරුම් ගැනීමට විශේෂඥ දේශපාලන ඥනයක් අවශ්‍ය වන්නේ නැත. අනෙක් අතට මේ විශ්වාසභංගය පන්නයේ දේශපාලන උපක‍්‍රම මගින් අපි බලාපොරොත්තු වන ජයග‍්‍රහනයන් නොලැබී ගියහොත් හෝ එසේත් නැතිනම් ඒ උපක‍්‍රමය වැරදියට යෙදුනහොත් දේශපාලනයේ ඇතිවිය හැකි පසු තත්වයන් තමන්ගේ පිළේ දේශපාලනය කරන හැමෝම අර්බූදයට යාහැකි නිසා එවැනි ආකාරයේ දේශපාලන උපක‍්‍රම තේරිය යුත්තේ ඉතාමත් පුහුණු දේශපාලන පරිචයකින් බව අපි හැමෝම පිළිගත යුතුය. අනෙක් අතට මේ ක‍්‍රියාදමයෙන් පෙන්නුම් කරන්නේ හුදු තමන්ට සම්බන්ධ නැති බලවේගවල අවශ්‍යතාවයන්ට අනුව දේශපාලන උපක‍්‍රම තේරීම්වලට අපි සම්බන්ධ විය යුතු නැති බවය. දැන් මේ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වී ඇති නිසා මේ කාරණා පිළිබදව එළිපිටම කථා කිරීමේ වැරුද්දක් ඇතැයි මා සිතන්නේ නැත."
චරිත හේරත් -බස් එක මිස්වීම- කිවිදා විග්‍රහය- ලංකාදීප

මෙහිදී ‘අපේ කට්ටිය කළේ මාධ්‍ය සංදර්ශන, තිබුණ සියලුම තුරුම්පු කලින් කිව්වා, එතකොට යූඑන්පීයට ඒකට සූදානම් වෙන්න පුළුවන්කම ලැබුණා’ යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධවද මන්ත්‍රීවරයා වෙත ප්‍රශ්නයක් යොමුකර තිබිණ.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ එම අදහස චන්ද්‍රසේන මන්ත්‍රීතුමාට ස්වයංව පහළ වෙච්ච අදහසක් නොවන බවත් එය ඔහුගේ කවුරුහරි "ගෝඩ් ෆාදර්" කෙනෙක් උගන්වපු කතාවක් බවය.

"ගෝඩ් ෆාදර්" කවුද: ඉස්සරහට කියන්නම්

ගෝඩ් ෆාදර් කවුද යනුවෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ඒ ගැන ඉදිරියේදී බලාගන්න කියාය.

එසේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් වඩා එතුමාවත් වාටියට තල්ලු කරමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තමන් අතට ගනිමින් විදේශ ඔත්තු සේවා න්‍යාය පත්‍රයට අනුව මේ බලවේගය අයාලේ රැගෙන යන්න ඇතැමුන් උත්සාහ කරන බවත් ඒ අය කවුද යන්න අනාගතයේ දී මීට වඩා විවෘතව කතා කරන්න තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

විමල්ගේ සද්දෙ : ගෝඨා පස්සෙ නිසා

තම පාර්ශවය මේ සම්බන්ධව හොඳ අවබෝධයකින් වගේම අවදියෙන් සිටින බවත් තම පාර්ශවය මේ දේශපාලන ක්‍රියාවලියෙන් ඉවතට ඇද දැමීමට එම බලවේග වලට අවශ්‍යව ඇති බවත් එසේ එළියට ඇඳලා දැමීම සඳහා වූ පියවර ඔවුන් පහුගිය දවස්වල ගනුලැබූ බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය හුදකලාව සිදුකළ එකක් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය තුළ උග්‍රව ඇති බැසිල්-ගෝඨා දෙපාර්ශවයේ ගැටුමේ ප්‍රතිඵලයක් බවය. එසේ නොවන්න මීට පෙර බැසිල් රාජපක්ෂගේ මුහුණ දිහා කෙළින් බලා කතා කිරීමටවත් හැකියාවක් මන්ත්‍රීවරයාට නොවූ බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.