Language Switcher

V2025

තවත් වසර පහකට රනිල් ජනාධිපති කළ යුතුයි - රුවන්

රට හරි තැනකට ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තව වසර පහකට රටේ මුල් පුටුවේ සිටිය යුතු බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

2048 වසර වන විට මේ රට සංවර්ධිත රටක් බවට පත්කිරීම වෙනුවෙන් මේ වන විටත් ජනාධිපතිවරයා අඩිතාලම දමාගෙන යන බවද ඔහු සඳහන් කළේය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කටුවනදී පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ මුල්ගිරිගල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්ය.

මුල්ගිරිගල එජාප ආසන සංවිධායක ආනන්ද කුලරත්න මෙම රැස්වීම සංවිධානය කර තිබු අතර රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මෙසේද පැවසීය.

‘අභියෝග බාධා මැද පක්ෂයට විශාල සේවයක් කළ නායකයෙක් මෙතුමා. මේ මුල්ගිරිගල ආසනය ඇතුලු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවයක් කල නායකයෙක් විදියට ආනන්ද කුලරත්න මැතිතුමා හැදින්විය හැකියි.

පක්ශය පවා නොදි නායකත්වය සමග රැදී සිටිමින් නිහතමානි නායකයෙක් ලෙස එතුමා කටයුතු කරා. මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වල මුල් අඩිතාලම යොදමින් එතුමා මේ රටට විශාල සේවයක් කරලා තියෙනවා.

දැන් අපේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න කාලය ඇවිත් තිබෙනවා.ගිය වර්ෂයේ අප්‍රේල්, මැයි මාසවල අපි තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල හිටියේ අපට සිංහල හා දමිළ අවුරුද්ද,වෙසක් සහ පොසොන් උත්සව නිදහසේ සමරන්න අවස්ථාව තිබුණේ නෑ,රට බංකොලොත් වෙලා දැඩි දේශපාලන අස්ථාවර භාවයකට මුහුණ දීලා හිටියේ.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා. ගෝඨාභය මැතිතුමා පළමුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැති ධූරය බාර ගන්න ඇරයුම් කරා.ඒත් එතුමා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරලා අගමැති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කරා.ඉන්පසුව ගෝඨාභය මහත්තයාගේ උපදේශකවරු එතුමාට පැවසුවා ආර්ථික අර්බුදයට කළමනාකරණය කළ හැකි සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව. ඒ අනුව ගෝඨාභය මැතිතුමාගෙන් ලද ඇරයුම පිළිගෙන රනිල් මැතිතුමා අපේ පක්ෂ ජේශ්ඨයින් සමඟ සාකච්ඡා කරලා 2022 මැයි 12 අගමැති ධූරය බාරගත්තා.

දැන් එතුමා IMF සමඟ සාකච්ඡා කරලා රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙළ එතුමා පියවරෙන් පියවර ඉදිරියට අරන් යනවා. රටේ ආර්ථික ප්‍රශ්න 100% ක් විසඳලා අවසන් වෙලා නෑ. ඒත් රනිල් මැතිතුමා පසුගිය වසරක කාලය තුළ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කරන්න සාධණීය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ජුනි මස විදුලි බිලෙන් ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට අපේක්ෂිතයි. ඒ වගේම මේ අවුරුද්ද අවසානයේ එතුමා රටේ ජනතාවට සහන රැසක් ලබාදීමට නියමිතයි. කෙතරම් ආර්ථික ගැටලු තිබුණත් එතුමා රටේ දිළිඳු ජනතාව අමතක කළේ නැහැ. ඔවුන්ට සහල් සහනාධාරය,රු. 5000 දීමනාව වැනි සහන ලබා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කරා.

රනිල් මැතිතුමා තව වසර 5කට රටේ මුල් පුටුවෙ ඉන්න ඕන රට හරි තැනකට ගැනීම සඳහා. 2048 මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න එතුමා දැන් අඩිතාලම දාගෙන යනවා.

මේ රටේ ඉතිහාසය දිහා බැලුවොත් අපට නිදහස ලබා දුන්නේ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා, මේ රට කෘෂිකාර්මික විප්ලවයකට යොමුකරමින් බත් දුන් පියා ලෙස විරුදාවලිය ලැබුවේ ඩඩ්ලි සේනානායක මැතිතුමා,මේ රටට විවෘත ආර්ථිකය හදුන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා.මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට නිවාස හිමිකම් ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය.

මේ වගේ දැවැන්ත නායකයින් සිටිය රටේ ආර්ථිකය ගොඩනගපු පක්ෂය තමා එක්සත් ජාතික පක්ෂය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ සියලු පාර්ශව එකතු කරගෙන රටේ ප්‍රශ්න විසඳන අවස්ථාවේ එතුමාගේ කකුලෙන් අදින කණ්ඩායමක් තවම ඉන්නවා.

මේ රටේ නැවත ආගම් භේදයක් ඇති කරන්න තවත් කණ්ඩායම් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන උත්සාහ ගන්නවා.එදා ඩී. එස්. සේනානායක මැතිතුමා මේ පක්ෂය හදලා සියලු බලවේග එක මිටට ගෙන නිදහස දිනාගන්න කටයුතු කල ආකාරයට රටේ සියලු පක්ෂ එකතු කරගෙන මේ රට හරි තැනකට ගන්න රනිල් මැතිතුමා උත්සාහ කරන්නේ. මේ රට සංවර්ධිත රටක් කරන්න නම් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක මිටට එකමුතු විය යුතුයි .

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි ජන වරමක් ලබාගැනීමට ඔබ තමුන් වහන්සේලාගේ සහය අපට අවශ්‍යයි. අපේ පක්ෂය හැරගිය පිරිස් නැවත පක්ෂය වටා මේ වන විට නැවත ගොනු වෙනවා. මුල්ගිරිගල ආසනයේ පක්ෂ සංවිධාන ශක්තිය පෙරටම ගෙන යෑමට ඔබතමුන් වහන්සේලා ආනන්ද කුලරත්න මැතිතුමාට නිබඳ සහයෝගය ලබා දෙන්න’