Language Switcher

V2025

උද්ධමනය, මාළු මිල හා එළවළු මිල : සිරස කියන්නේ ඇත්තද ?

උද්ධමනය අඩුවීම මාතෘකාවක් බවට පත් වෙද්දී සමහර අය මාළු මිල, එළවළු මිල වගේ දේවල් ගැන අවධානය යොමු කරවනවා. මෙහි ප්‍රතිචාර දක්වන අයව අපි පැත්තකින් තියමුකෝ. ඇතැම් මාධ්‍ය විසින්ද මේ වැඩේ ලොකුවටම කරනවා.

අපේ එක් පාඨකයෙක් විසින් මැයි 30 සිරස ප්‍රවෘත්තිවල කොටසක් අපේ අවධානයට යොමු කර තිබුණා.

"තෝරා මාළු 3,800යි. පරාවෝ තියෙනවා 3,000යි. තලපත් 3,400යි." මයික් එක අල්ලද්දී එක් අයෙක් කියනවා.

"උඩරට එළවලු මිල සැසඳීමේදී වැඩිම මිල ඉහළ යාමක් සිදු වී ඇත්තේ කැරට් සඳහායි. එය 64%ක්. ... නෝකෝල් රාබු වැනි මිල ගණන්ද 40%කින් පමණ ඉහළ ගොස් තිබුණා. පහත රට එළවළු සඳහා වැඩිම මිල ඉහළ යාම සිදුව තිබුණේ කරවිල සඳහායි. එය 42%ක්." නිවේදිකාව කියනවා.

"...අපි ආවා භූමියේ යථාර්තය බලන්න." සිරස මාධ්‍යවේදිනියක් පොළේ ගිහින්.

"...මම ගිය සතියේ එනකොට මුකුණුවැන්න මිටියක් තිබුණා රුපියල් 30ත් 50ත් අතර වගේ මිලකට. අක්කේ දැන් මේ වන විට මුකුණුවැන්න මිටියක් කීයද?"

"සීයයි"

මේ එහි ප්‍රදර්ශනය කරන තවත් මිල ගණන් කිහිපයක්.

අප්‍රේල් 28 පැවති මිල
කැරට් - 200
බෝංචි - 280
ලීක්ස් - 240

අද (මැයි 30) මිල
කැරට් - 480
බෝංචි - 600
ලීක්ස් - 480

"එහෙනම් මහ පොළොවේ යතාර්ථය මේකයි. දරාගන්න බැරි තරමේ ආහාර උද්ධමනයක් තවමත් ලංකාවේ දක්නට ලැබෙනවා." නිවුස්ෆස්ට් වෙනුවෙන් ඔමායා කෝවිලගොඩගේ කියනවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේදී ආහාර උද්ධමනය 21.5% දක්වා අඩු වෙලා තිබෙනවා. මාළු, එළවලු මිල ගණන් ඔය කියන තරම්ම වැඩි වෙලානම්, ආහාර උද්ධමනය 21.5% මට්ටමේ තියෙන්නේ කොහොමද?

පළමු ප්‍රශ්නය නිවුස්ෆස්ට් මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කරන මිල ගණන් මහ පොළොවේ යතාර්ථයද?

පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 මැයි මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය (average) මිල ගණන්.

පරා - 2,786.67
තලපත් - 3,120.67

කැරට් - 404.14
බෝංචි (කොළ) - 503.20
ලීක්ස් - 451.43
මුකුණුවැන්න - 70

දැන් බැලූ බැල්මටම පේනවා සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන "මහ පොළොවේ" මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මිල ගණන් වලට වඩා තරමක් වැඩි බව. එහෙමනම්, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව බොරු කරලද?

සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන්නේ "මහ පොළොවේ" තිබෙන ඇයට පෙන්වන්න අවශ්‍ය නිශ්චිත තැනක් පමණයි. ඒ තැන ඈ විසින් හිතාමතා තෝරාගන්නා තැනක්. සිරස ප්‍රවෘත්ති ප්‍රකාශයේ මාළු ගැන කතා කරද්දී කතා කරන්නේ තෝරා, පරා, තලපත් වගේ මිල අධික මාළු ගැන විතරයි. රටේ සාමාන්‍ය මිනිස්සු ගොඩක් අය ආහාරයට ගන්න සාපේක්ෂව මිල අඩු සාලයෝ, ලින්නෝ, හුරුල්ලෝ වගේ මාළු ගැන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැහැ. බොහෝ විට ඒ මාළු වලත් මිල වැඩි වෙලා වුනත්, මෙතැනදී සිරස ප්‍රවෘත්ති සංස්කාරක විසින් හිතාමතාම තෝරා ගන්නේ වැඩි ප්‍රවෘත්ති වටිනාකමක් තිබෙනවායැයි සිතන මිල ගණන් පමණයි. එළවලු ගැන කතා කරද්දී වුනත්, වැඩිම මිල වැඩිවීම් ගැන මිසක් මිල අඩු වීම් හෝ අඩු මිල වැඩිවීම් ගැන කතා කරන්නේ නැහැ. මහ පොළොවෙන් යථාර්තය හොයාගෙන ඉදිරිපත් කරන්නේ ප්‍රවෘත්ති වටිනාකම ගැන පමණක් සලකලා.

එක පැත්තකින් මේක සිරස විසින් පමණක් හෝ මාධ්‍ය විසින් පොදුවේ කරන දෙයක් පමණක් නෙමෙයි. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දමන හෝ ශෙයා කරන ගොඩක් අය විසින් පෙන්වන්නෙත් තමන්ට පෙන්වන්න අවශ්‍ය දේවල්. (අපට වුනත් මේක අදාළයි). ප්‍රතිචාර දමන අයත් එහෙමයි. ඒකේ වැරැද්දක් නැහැ. තමන්ට කියන්න අවශ්‍ය දේ මිසක් වෙන අයට කියන්න අවශ්‍ය දේ කියන්නේ මොකටද?

ලංකාවේ ගොඩක් අය තවමත් හිතන්නේ තමන්ට අඩු මිලකට එළවලු, මාළු විකුණන එක රජය විසින් කළ යුතු දෙයක් කියලා. එළවලු, මාළු නිපදවන අය හිතන්නේ තමන්ගේ නිෂ්පාදන රජය විසින් වැඩි මිලකට මිල දී ගත යුතුයි කියලා. ඒ කාලයක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, දේශපාලනය හරහා මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තිබෙන විදිහ. සමහර අය වෙළඳපොළ ගැන යාන්තමින් හෝ ඉගෙනගන්න උත්සාහ කරන්නේ අවුරුද්දකට කලින් ආර්ථිකය කඩා වැටුණු දවසේ සිටයි. ගොඩක් අය තවමත් ඔය ගොඩේ නැහැ.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මිල ගණන් එකතු කරන්නේ විධිමත් ලෙස, කිසියම් ක්‍රමවේදයකට අනුවයි. රටේ තැනින් තැන එකම භාණ්ඩයක වුනත් මිල ගණන් වෙනස්. කීල්ස් සුපර් මාර්කට් එකේ කැරට් කිලෝ එකක මිලත් දෙල්කඳ පොළේ මිලත් සමාන නැහැ. දෙල්කඳ පොළට ගියත් හැම තැනම මිල ගණන් සමාන නැහැ. සමහර තැන් වල මිල අඩුයි. තව සමහර තැන් වල මිල වැඩියි. ඒ වගේම කැරට් කියන්නේ සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. ප්‍රමාණය ලොකු පොඩි වෙද්දී මිල ගණන් වෙනස් වෙනවා. බෝංචි ගත්තත් එහෙමයි. සුදු, බටර් බෝංචි සහ කොළ පාට බෝංචි එකම මිලට විකිණෙන්නේ නැහැ. මාළු ගත්තත් ඔය වගේ වෙනස්කම් තිබෙනවා.

මිල ගණන් අඩු වැඩි වෙන විදිහ හරි පිළිවෙලකට බලන්නම් මුලින්ම අදාළ භාණ්ඩය සම්බන්ධ කිසියම් සම්මතයක් හදාගන්න වෙනවා. දේශීය අර්තාපල් හා ආනයනික අර්තාපල් කියන්නේ වර්ග දෙකක්. සුදු බිත්තර හා රතු බිත්තර වෙනස්. ලොකු බිත්තර හා පොඩි බිත්තර එක මිලට විකිණෙන්නේ නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් එළවළු, මාළු මිල ගණන් එකතු කරන්නේ එකම සම්මතයක් අනුගමනය කරමින්. ඒ වගේම, මිල අඩු තැන් හෝ වැඩි තැන් තෝරා බේරාගෙන මිල ගණන් එකතු කරන්නේ නැහැ. හැමදාම මිල ගණන් එකතු කරන්නේ එකම තැන් වලින්. අද පොළේ මිල බලලා හෙට සුපිරි වෙළඳසැලේ මිල බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ ඒ තැන් දෙකේ මිල ගණන් වෙනස.

ඒ වගේම, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිරස මාධ්‍යවේදිනිය මෙන් එක තැනකින් පමණක් මිල ගණන් එකතු කරගන්නේ නැහැ. තැන් ගණනාවකින් මිල ගණන් අරගෙන සාමාන්‍ය අගය තමයි ඉහත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා, සිරස මාධ්‍යවේදිනිය පෙන්වන මිල ගණන් මහ පොළොවේ යථාර්තය වෙන්න පුළුවන්. හැබැයි ඒ මහ පොළොවේ ඇය පෙන්වන තැන තිබෙන යථාර්තය. පොදුවේ ගත්තහම තත්ත්වය හරියටම ඊට සමාන නැහැ.

එහෙමනම්, මැයි මාසයේදී එළවලු, මාළු මිල ගණන් වැඩි වෙලා නැද්ද?

පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 අප්‍රේල් මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය මිල ගණන්.

පරා - 2,332.22
තලපත් - 2,539.38

කැරට් - 257.50
බෝංචි (කොළ) - 318.33
ලීක්ස් - 346.96
මුකුණුවැන්න - 73

පැහැදිලි ලෙසම අප්‍රේල් මාසයේ එළවලු හා මාළු මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, සිරස කියන තරමට වැඩි වෙලා නැහැ. මෙහි තියෙන්නේ මාධ්‍ය විසින් වගේම දේශපාලනඥයින් විසින් මිනිස්සුන්ගේ ස්වභාවික දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක්.

මාධ්‍යවේදිනිය විසින් පෙන්වන දැන් මිල ගණන් ඇත්ත මිල ගණන්. ඔය ගැන බොරු කියන්න බැහැනේ. මොකද ඕනෑම කෙනෙකුට අදාළ තැනට ගිහින් පරීක්ෂා කර බලන්න පුළුවන්. එතකොට වැඩේ අතේ මාට්ටු. හැබැයි මාසයකට කලින් මිල ගණන් කියලා ඉදිරිපත් කරන්නේ පට්ට බොරු. මොකද කාටවත් අතීතයට ගිහින් පරීක්ෂා කර බලන්න බැහැනේ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් බඩු මිල අඩු වෙද්දී වගේම වැඩි වෙද්දීත් එකම ක්‍රමවේදයකට අනුව මිල ගණන් එකතු කරගෙන වාර්තා කර තියන්නේ අවශ්‍ය කෙනෙකුට අතීතයේ පැවති තත්ත්වය මතක් කර ගන්න. ඒ වුනත්, ගොඩක් අය ඒ වැඩේ කරන්නේ නැහැ. දැන් පෙන්වන "භූමියේ යථාර්තය" ඇත්ත නිසා මාසයකට කලින් තත්ත්වය ගැන කියන කතාවත් ඇත්ත කියා නිකම්ම පිළිගන්නවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි අවසානයේදී මුකුණුවැන්න මිටියක් රුපියල් 70යි. සිරස මාධ්‍යවේදිනියට අනුව රුපියල් 100යි. මේක වෙන්න පුළුවන්. සාමාන්‍ය මිල රුපියල් 70 වෙද්දී සමහර තැන් වල මිල රුපියල් 100ක් වෙන්න පුළුවන්. හැබැයි සතියකට කලින් මිල රුපියල් 30ක් කියා කියද්දී ඇය කියන්නේ පට්ට බොරුවක්. සමහර විට සමහර තැන් වල රුපියල් 50ට තිබුණා වෙන්න පුළුවන්.

රත්නපුරේ සමන් දේවාලයේ ගල් පැලයක් තිබෙනවා. ඕක දමලා තිබෙන පෙට්ටියේ වහලේ වැදිලා නැමිලයි තියෙන්නේ. සමහර වයසක අය කියන විදිහට ඒ අය පොඩි කාලයේ ඔය ගල් පැලය ඔයිට වඩා ගොඩක් උසින් අඩුයි. හැබැයි කාටවත් ඒ කතාව විශ්වාස කරනවා හෝ සැක කරනවා මිසක් තහවුරු කරගන්න විදිහක් නැහැ. අවුරුදු විසිපහකට තිහකට කලින් ගත්ත ඡායාරූපයක් එක්ක සංසන්දනය කළොත් ගල් පැලේ වැවිලාද කියලා හරියටම දැනගන්න පුළුවන් වුනත් එහෙම පරීක්ෂාවක් නොකර තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා. මේකත් ඒ වගේ දෙයක්.

මැයි, ජූනි, ජූලි මාස වල එළවළු, මාළු මිල වැඩි වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ගොඩක් වෙලාවට ජූනි මාසයේදී. මේක උද්ධමනයට සම්බන්ධ දෙයක් නෙමෙයි. අගෝස්තු වගේ වෙද්දී ඔය වැඩි වෙන මිල නැවත අඩු වෙනවා.

අප්‍රේල් වෙද්දී හරාය කාලය ඉවර වෙලා වාරකන් කාලය පටන් ගන්නවා. හරාය කාලෙට මුහුද නිසලයි. මූදූ රස්සාවට ගිහින් ලේසියෙන්ම හොඳ මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ කාලෙට ධීවරයන්ගේ ප්‍රශ්නය අහුවෙන මාළු ටික විකුණගන්න එක. සැපයුම වැඩි වෙද්දී මිල පහළ යනවා. මිල පහළ ගියත් ප්‍රමාණය වැඩි නිසා ධීවරයින්ගේ ආදායම් අඩු වෙන්නේ නැහැ. එහෙම මිල අඩු කරලත් විකුණගන්න බැරි මාළු ජාඩි, කරවල කරනවා.

වාරකන් කාලෙට එහෙම නැහැ. මූදු යන්න අමාරුයි. ඒ නිසා මාළු සැපයුම අඩුයි. මිල ඉහළ යන එකෙන් ධීවරයින්ට යම් සහනයක් ලැබෙනවා. කාගෙවත් මැදිහත්වීම් නැතත් වෙළඳපොළ ප්‍රශ්න විසඳන්නේ ඔය විදිහට. මාළු කන්න සල්ලි නැති අයට කරවල කන්න පුළුවන්. කෝඩෙ ගහලා ඉන්න ධීවරයන්ට හරාය කාලෙදී වේලපු කරවල විකුණලත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. ජූනි මාසය වාරකන් කාලයේ පීක් එක. හැම අවුරුද්දෙම වගේ ඔය කාලයට මාළු මිල ඉහළ යනවා. මාළු මිලේ වගේම එළවලු මිලේත් මේ වගේ වාරික (seasonal) උච්ඡාවචනයන් සිදු වෙනවා. එළවලු මිල සාමාන්‍යයෙන් වසරකට දෙවරක් පීක් වෙනවා. ජූනි හා දෙසැම්බර් මාස වලදී. ඒ නිසා ජූනි මාසය එළවලු වගේම මාළු මිලත් ඉහළ යන මාසයක්. දෙපැත්තේ මාස දෙකටත් මෙහි බලපෑම තිබෙනවා.

එළවළු, මාළු මිල ඉහළ යද්දී සිරස වගේ මාධ්‍ය වලට රජමගුල්. නමුත් මිල අඩු වෙද්දී එවැනි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. එවැනි වටිනාකමක් ලැබෙන්නනම් ගොවියෝ, ධීවරයෝ තමන්ගේ අස්වනු විකුණාගත නොහැකි වී වහ බොන තරමට මිල අඩු වෙන්න ඕනෑ. කවර හෝ විපක්ෂ දේශපාලන පක්ෂ වලටත් එහෙමම තමයි. අනෙක් පැත්තෙන් ආණ්ඩු පක්ෂයට පෙනෙන්නේ මිල අඩුවීම්.

අන්තර්ජාලයේ හොයද්දී 2021 දෙසැම්බර් 21 සිරස ප්‍රවෘත්ති වල ක්ලිප් එකක් හමු වුනා (https://www.youtube.com/watch?v=KSage9Lpwhk). මාස 18කට කලින්. උද්ධමනය වැඩි වෙන්න කලින්. ආර්ථික අර්බුදය මහ පොළොවට එන්න කලින්. මාධ්‍යවේදියා තරුෂ කුමාරසිංහ. ඒකේ කියන විදිහට කැරට් තොග මිල රුපියල් 450යි. ඒ නිසා විකුණන්න වෙන්නේ රුපියල් 600ට. මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති ඩී.එන්. සිල්වා මයික් එකට කියන විදිහට "එතකොට 250ක් රුපියල් තුන්සීයක් විතර වෙනවා". ඒ කියන්නේ කිලෝවක් රුපියල් 1,200ක්. රෙකෝඩින් එක කපලා අවශ්‍ය කෑලි පමණක් ප්‍රවෘත්ති වලට පෙන්වන නිසා කැරට්ද කියා හරියටම පැහැදිලි නැහැ.

දැන් අපි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැත්තකින්ම තියමු. සිරස "මහ පොළොවේ යථාර්තය" අනුව 2021 දෙසැම්බර් 17 කැරට් කිලෝ එකක් රුපියල් 600ක් පමණ වෙනවා. 2023 අප්‍රේල් 28 වෙද්දී, සිරස ප්‍රවෘත්ති අනුවම, ඔය මිල රුපියල් 200 දක්වා අඩු වෙලා. රටේ උද්ධමනය මේ තරම් ඉහළ යද්දී කැරට් මිල ඔය තරම්ම අඩුවුනානම් ඒක ප්‍රවෘත්තියක් වුනේ නැත්තේ ඇයි? ඒ ගොල්ලෝ පාර කියන්නේ ඔය විදිහට තමයි.

විධිමත්, සම්මත ක්‍රමයකට එකතු කරගෙන ඉදිරිපත් කරන නිල සංඛ්‍යාලේඛණ විශ්වාස කරනවද නැත්නම් පාර කියන මාධ්‍ය වලින් පෙන්වන දේවල් ඒ විදිහටම පිළිගන්නවද කියන එක පෞද්ගලික කාරණාවක්. කොහොම වුනත් ඔය දෙකේ වෙනස තමයි පැහැදිලි කළේ.

උද්ධමනය කියා කියන්නේ බඩු මිල වැඩි වීම නෙමෙයි. කිසියම් මුදල් ඒකකයක වටිනාකම අඩුවීම. මුදල් ඒකකයක වටිනාකම අඩු වෙන්නේ මුදල් සැපයුම වැඩි වෙද්දී. හැබැයි මුදල් සැපයුම කියන්නේ විචලනය වන දෙයක්. දිනපතා, සතිපතා හෝ මාස්පතා මුදල් සැපයුමේ සිදුවන අඩු වැඩිවීම් බොහොමයක් නැවත ආපසු හැරවෙනවා. මුදල් සැපයුම ප්‍රායෝගිකව පහසුවෙන් ආපසු හැරවිය නොහැකි පරිදි ස්ථිර ලෙස වැඩි වෙලා කියා කියන්න පුළුවන් වෙන්නේ වසරක පමණවත් කාලය තුළ සිදු වී ඇති දේ දෙස බැලීමෙන් පමණයි.

උද්ධමනය මනිද්දී ඇත්තටම කරන්නේ මුදල් ඒකකයක මිල දී ගැනීමේ හැකියාව අඩු වී ඇති ආකාරය මනින එක. වසරකට කලින් රුපියල් 1000කින් මිල දී ගත් බඩු මල්ල මිල දී ගන්න අද කීයක් යනවද? මේක මනින්න යද්දී මතුවන ප්‍රශ්නයක් වන්නේ මුදලේ වටිනාකම අඩු නොවුනත් ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල විචලනය වන එක. මෙහි විස්තර කළ එළවලු හා මාළු උදාහරණ. වාරකන් කාලයට මාළු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා නෙමෙයි. මුදලේ වටිනාකම අඩු වෙලා නිසා නෙමෙයි. ඒ කාලයට මාළු සැපයුම අඩු නිසා. වාරකන් කාලය ඉවර වෙද්දී වැඩි වූ මිල නැවත අඩු වෙනවා. එළවළු මිලත් එහෙමයි.

උද්ධමනය මනිද්දී මිල මට්ටම සංසන්දනය කරන්නේ පසුගිය වසරේ අදාළ මාසයත් එක්ක. විශේෂ හේතුවක් නැතුව පසුගිය මාසය එක්ක සංසන්දනය කරන්නේ නැහැ. පසුගිය මාසය එක්ක සංසන්දනය කළොත් එයින් පෙනෙන්නේ සැපයුමේ සිදුවන කාලික වෙනස්කම් මිසක් උද්ධමනය නෙමෙයි. අධි-උද්ධමන කාලයකනම් මාස්පතා සිදුවන මිල ඉහළ යාම් දිහා බලන එකේ ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ වගේම, රුපියලේ වටිනාකම රටේ භාණ්ඩ හා සේවා සියල්ල එක්ක පොදුවේ සංසන්දනය කරනවා මිසක් තලපත් මාළු හෝ කැරට් එක්ක පමණක් සංසන්දනය කරන්නේ නැහැ.

මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය තුළ මාළු වියදම රුපියල් 1,004.60කින්ද, එළවළු වියදම රුපියල් 407.29කින්ද ඉහළ ගොස් තිබෙනවා. අර්තාපල් වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිලද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, පළතුරු, කිරිපිටි, බිත්තර වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිල අඩු වී ඇති නිසා සමස්තයක් ලෙස මාසය තුළ ආහාර පැසෙහි මිල ඉහළ ගොස් තිබෙන්නේ රුපියල් 943.11කින් පමණයි. ආහාර මිල ගණන් මාසය තුළ මෙපමණකින් ඉහළ යද්දී ආහාර නොවන වියදම් රුපියල් 986.16කින්ම අඩු වී ඇති බැවින් සමස්තයක් තුළ මිල මට්ටමෙහි සුළු හෝ අඩුවීමකුයි සිදු වී තිබෙන්නේ.

පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මාළු වියදම රුපියල් 1,787.81කින් ඉහළ ගොස් ඇති අතර සමස්තයක් ලෙස කොළඹ පවුලක ආහාර වියදම රුපියල් 9,904.00කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 0% නොවී 21.5% මට්ටමේ තිබෙන්නේ ඒ නිසා.

උද්ධමනය නිසා මුදලේ ක්‍රය ශක්තිය විශාල ලෙස අඩුවීමෙන් මාළු හෝ එළවළු මිල ඉහළ යනවානම් එය ප්‍රශ්නයක් තමයි. නමුත්, කාලික කාලගුණ වෙනස්කම් නිසා සැපයුම වෙනස් වීම හේතුවෙන් සිදුවන මිල අඩු වැඩි වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. හරාය කාලයේදී මාළු සැපයුම වැඩි වෙද්දී මාළු මිල අඩු වෙනවා. ඒ විදිහට මිල අඩු වෙද්දී වෙළඳපොළ විසින් කරන්නේ පාරිභෝගිකයින්ට සංඥාවක් දෙන එක.

"අන්න මාළු ලාබ වෙලා. ගිහින් අරගෙන කාපල්ලා!"

පාරිභෝගිකයෝ මාළු පරිභෝජනය වැඩි කරනවා. ඒ නිසා අල්ලන මාළු ටික විකිණෙනවා. ධීවරයින්ට මාළු විකුණගන්න බැරුව වහබොන්න වෙන්නේ නැහැ. විකුණගන්න බැරි නිසා නිෂ්පාදනය කඩා වැටෙන්නේ නැහැ.

අනෙක් අතට වාරකන් කාලයට මිල වැඩි වෙනවා. ඒ හරහා වෙළඳපොළ විසින් කරන්නේ ධීවරයින්ට සංඥාවක් දෙන එක.

"මුහුද රළුයි තමයි. හැබැයි අවදානම අරගෙන මූදු ගියොත් අවදානමට හරියන ලාබයක් ලැබෙනවා!"

මිල වැඩි නිසා ධීවරයෝ යම් පිරිසක් හරි මූදු යනවා. සැපයුම ටිකක් හරි වැඩි වෙනවා. නිෂ්පාදනය අඩියටම කඩා වැටෙන්නේ නැහැ.

ඔය වැඩේ වෙළදපොල විසින් කරනවා. ඕකට ධීවර ඇමතිවරුන් හෝ අමාත්‍යංශ නිලධාරීන් මහජන බදු මුදලින් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි නිදහසෙන් පසු ලංකාවේ වෙලා තියෙන්නේ ඕක නෙමෙයි.

ලංකාවේ ධීවර ඇමති කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශයක් තිබෙනවා. මාළු මිල දී ගෙන බෙදා හරින්න හදපු ධීවර සංස්ථාවක් තිබෙනවා. සමාජවාදී මධ්‍යගත සැලසුමකට අනුව හදපු මේ ආයතන තවමත් තියෙනවා. ඒ නිසා, මාළු මිල වැඩි වෙද්දී මිනිස්සු ආණ්ඩුව දිහා බලන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ වෙළඳපොළට කරන්න බැරි දේවල් ඇමතිට කරන්න පුළුවන් කියලයි. තවමත් ඔය කතාව කියන අය ඉන්නවා.

ලංකාවේ ධීවර ඇමති රස්සාව නොකරපු දේශපාලන පක්ෂයක් නැති තරම්. එජාප, ශ්‍රීලනිප, සමසමාජ, මහජන එක්සත් පෙරමුණු, දෙමළ කොන්ග්‍රස්, වගේම ජනතා විමුක්ති පෙරමුණේ ධීවර ඇමතිලා කාටවත් වාරකන් කාලයට මිල ඉහළ යන එක නවත්තන්න පුළුවන් වෙලා නැහැ. ඇමති කවුරු වුනත්, ධීවර ඇමතිට කාලගුණේ වෙනස් කරන්න බැහැ වගේම වාරකන් කාලෙට මාළු මිල ඉහළ යන එකත් වෙනස් කරන්න බැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒකට ඉඩ දිය යුතුයි.

හැබැයි කාලිකව සිදුවන සැපයුම් උච්ඡාවචනයන් නිසා මිල වෙනස්වීම් වෙළඳපොළ විසින්ම නියාමනය කරනවා. ජාඩි, කරවල කියා කියන්නේ මෙය සිදු වන යාන්ත්‍රනය. ලංකාවේ මූදූකරේ මිනිස්සු මාළු ජාඩි කරන්න පටන් ගත්තේ රටේ ධීවර අමාත්‍යංශයක් හැදුනට පස්සේ නෙමෙයි. මේවා වෙළඳපොළ විසින් හදා දුන් ස්වභාවික විසඳුම්.

ජාඩි, කරවල හදන එකේ නූතන ස්වරූපය ශීතාගාර. ශීතාගාර පහසුකම් වැඩි වන තරමට හරාය කාලෙදී එකතු වන මාළු අතිරික්තය ගබඩා කරගෙන වාරකන් කාලයට වෙළඳපොළට නිකුත් කිරීම මගින් සැපයුමේ සිදුවන උච්ඡාවචනයන් පාලනය කර ඒ හරහා මිලෙහි සිදුවන උච්ඡාවචනයන් පාලනය කරන්න පුළුවන්. එළවලු වලට වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. සංවර්ධිත රටවල ඔය වැඩේ වෙනවා.

දැන් මේ වැඩේ කළ යුත්තේ කවුද? ඒකත් කළ යුත්තේ රජයද? ධීවර සංස්ථාව වගේ ආයතන පිහිටවලා තියෙන්නේනම් මේක රජය විසින් කළ යුතු දෙයක් කියන අදහසින්. ඒ නිසා, අවශ්‍යනම් හිටපු ධීවර ඇමතිවරුන්ට චෝදනා කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රශ්නය සල්ලි කියලා.

ප්‍රශ්නය සල්ලිනම් එතැනම අවුලක් තිබෙනවා. කරන වැඩේ කාර්යක්ෂමනම් යට කරන සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. කරන වැඩේ අකාර්යක්ෂමනම් ඒ වගේ වැඩකට මහජන මුදල් නාස්ති කරන එකේ තේරුමක් නැහැ.

වැඩේ ලාබනම්, පෞද්ගලික අංශයට අත ගහන්න බාධාවක් නැත්නම්, කවුරු හෝ කෙනෙක් ඔය ආයෝජනය කරනවා. ඒ හරහා මිල විචලනය ස්වභාවික ලෙස නියාමනය වෙනවා.

ඒ කියන්නේ වාරකන් කාලයට මිල වැඩි නොවනවා කියන එක නෙමෙයි. වාරකන් කාලයට තව දුරටත් මිල ඉහළ යනවා. නමුත් යම් සීමාවකින් එහාට යන්නේ නැහැ. මේ සීමාව කුමක්ද?

වැඩේ වෙන්නනම් වාරකන් කාලයේ මාළු මිල සහ හරාය කාලයේ මාළු මිල අතර සැලකිය යුතු මිල වෙනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ මිල වෙනස ඔය කාලය තුළ ශීතාගාරයක මාළු තියාගෙන එසේ කිරීමේ විචල්‍ය පිරිවැයට අමතරව ස්ථිර පිරිවැය වෙනුවෙන් අවශ්‍ය තරම් මුදලකුත් ගන්නා අවදානම වෙනුවෙන් ප්‍රමාණවත් ලාබයකුත් ලැබිය හැකි තරම් විශාල වෙනසක් විය යුතුයි. ඔය අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවානම් පෞද්ගලික ආයෝජකයෝ වැඩේට අත ගහනවා. ඊට පස්සේ වාරකන් කාලයට වුනත් යම් සීමාවකින් එහාට මාළු මිල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම, මාළු අස්වැන්න අඩු මාස වලදී ධීවරයාට ලැබෙන මිල ඕනෑවට වඩා අඩු වෙන්නෙත් නැහැ.

ඔය වගේ විශාල ආයෝජන දහ පහළොස් දෙනෙක් එකපාර කරන්නේ නැහැ. මුලින්ම අවදානම අරගෙන අත ගහන්නේ කවුරු හෝ එක්කෙනෙක්. එතකොට ටික කාලයකට ඒකාධිකාරයක් හැදෙනවා. එතකොට ඒ මනුස්සයාව මරාගෙන කාලා හරියන්නේ නැහැ. එක්කෙනෙක් ගන්න ලාබය දිහා බලාගෙන තමයි තවත් කෙනෙක් වැඩේට අත ගහන්නේ. වෙළඳපොළ ප්‍රමාණය, අවශ්‍ය ආයෝජනයේ විශාලත්වය වගේ හේතු නිසා ව්‍යාපාරිකයෝ හතර පස් දෙනෙක් මිසක් පනහක් හැටක්නම් කොහොමටවත් හැදෙන එකක් නැහැ. සහල්/ වී කර්මාන්තයේ වෙලා තියෙන්නෙත් ඔය වගේ දෙයක්.

සහල් ව්‍යාපාරය හා අදාළවනම් අතරමැදියන්ට කරන චෝදනා වල කෙළවරක් නැහැනේ. සහල් ව්‍යාපාරයේ අතරමැදියන් හරහා වෙන්නේ ඔය විදිහට සිදු විය හැකි මිල විචලනයන් සීමා වෙන එක. ඒ මිනිස්සු අවදානමක් අරගෙන ලොකු ආයෝජනයක් කරලා තියෙන්නේ ලාබයක් ගන්න තමයි. නමුත් මාළු මිල තරමට හාල් මිල උච්ඡාවචනය නොවන්නේ මේ අතරමැදියෝ ටික නිසා. ඔවුන් හරියට බදු නොගෙවනවානම් හෝ වෙනත් අනිසි වාසි ගන්නවානම් ඒ ගැන හොයා බලන එක අදාළ නිලධාරීන්ගේ වගකීමක්. ඒක මේකට අදාළ නැහැ. මාළු කර්මාන්තය ඇතුළෙත් ඔය වගේ අතරමැදියෝ කීප දෙනෙක් හිටියානම් ජූනි, ජූලි මාස වල මාළු මිල මේ තරමටම ඉහළ යන්නේ නැහැ.

කවුරුවත් නොකරන දේකට සල්ලි දමන එකේ ලොකු අවදානමක් තිබෙනවා. කවුරු හෝ ඒ අවදානම ගන්නේ යම් කාලයකට ඒකාධිකාරයක් පවත්වා ගන්න ලැබීමේ වාසිය දිහාත් බලාගෙන. ඒ විදිහට හැදෙන ඒකාධිකාර කිසිසේත්ම නරක නැහැ. දෙවැන්නාට වෙළඳපොළට එන්න පොළඹවන්නේ පළමුවැන්නාගේ ඉහළ ලාබ. ඒ නිසා, ඒකාධිකාරය නැති කරන්නනම් කළ යුත්තේ පුළුවන් තරම් ලාබ ගන්න ඉඩ අරින එක මිසක් ඒකට බාධා කරන එක නෙමෙයි. ඇමරිකාව වගේ රටක් හා අදාළවනම් කතාව වෙනස්. නමුත් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් ඇතුළේ ඇමරිකාවේ දමන විදිගේ සීමා කිරීම් කරන්න ගියොත් අවදානමක් ගන්න කෙනෙකුට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ.

තරඟය වැඩි වෙලා ලාබ නැති වෙන්නේ ලාබ ලබන්න ඉඩ දෙන තරමටයි. හැදෙන්න කලින් ඒකාධිකාර කියලා ලේබල් කරලා රජය විසින් බාධාකිරීම් කරද්දී ඇත්තටම වෙන්නේ ඒකාධිකාරය බිඳ නොවැටී පවත්වා ගන්න උදවු කිරීමක් පමණයි. මොකද එවැනි බාධා කිරීම් වලට වැඩියෙන් බය වෙන්නේ කර්මාන්තයට අලුතෙන් එන්න ඉන්න අය.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි