20 සංශෝධනය මැයි මාසයේ පාර්ලිමේන්තුවට

20 සංශෝධනය මැයි මාසයේ පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20වැනි සංශෝධනය ඇතුළත් යෝජනාව  මැයි මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර සිටියේ ඊයේ (25) ජවිපෙ පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

අදාළ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු මේ වන විට බොහෝදුරට අවසන් බවද මන්ත්‍රීවරයා පැවසීය.

"ඇතැම් අය ඉතාම පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරනවා. 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව කාරකසභා අවස්ථාවේදී බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කොට සම්මත කර ගැනීමේ ඉඩක් තිබෙන බවට ඉතාම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙම කි‍්‍රයාමාර්ගය රෝ ඔත්තු සේවයේ වැඩක් බව ප‍්‍රකාශ කරනවා. ඔවුන් තමයි රෝ ‘මීටරය’ බවට පත්වෙලා තිබෙන්නේ. ඔවුන්ට අනුව බන්දුල, බැසිල්, එක වෙලාවක රෝ ඔත්තුකරුවන් වෙනවා. තවත් වෙලාවක ඔත්තුකරුවන් නොවෙනවා. ඇත්තටම ඔවුන්ට තිබෙන්නේ රෝගයක්." බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය. 

එසේම 20 සංශෝධනය  සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය බැවින් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා, අගමැතිවරයා, මහින්ද රාජපක්‍ෂ  ඇතුළු කණ්ඩායම, ආණ්ඩුවට සහාය දෙන අනෙකුත් දේශපාලන පක්‍ෂ ඇතුළු මෙම යෝජනාවට පක්‍ෂ, විපක්‍ෂ සියලූ දෙනා සමඟ සාකච්ඡා කර අදාළ යෝජනාවට අවශ්‍ය අදහස් එක්කරලීමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කරයි.

රටේ පවතින දේශපාලන වාතාවරණය තුළ අදාළ යෝජනාව සම්මත කර ගැනීමට ඉඩක් පවතින බවත් එය  රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතාම වාසිදායක මෙන්ම තිබෙන අවස්ථාවෙන් උපරිම ලෙස ප‍්‍රයෝජන තම පක්ෂය උපරිමයෙන් මැදිහත් වන බවද ඔහු පැවසීය.

20 සම්මත කරන්න 13 ප්‍රශ්නයක් නෙවෙයි !

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. තර්කයක් ඉදිරිපත් වෙනවා 13වැනි සංශෝධනය කි‍්‍රයාත්මක වෙමින් තිබියදී 20වැනි සංශෝධනය ගෙන ඒම ගැටලූවක් කියල. නමුත් 88, 94, 99, 2005, 2010 හා 2015 යන සියලූම අවස්ථාවලදී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පොරොන්දු වුණේ 13 සංශෝධනය තිබියදීයි. 13වැනි සංශෝධනයට අනුව ආණ්ඩුකාරවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. 20වැනි සංශෝධනය අනුවත් එම බලතල ජනාධිපතිවරයාටම පැවරෙනවා. ඒ වගේම මේ සියලූම දෙනා යුද්ධය ප‍්‍රබලව තිබෙන කාලයේදී තමයි විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න පොරොන්දු වුණේ. ඇත්ත තත්වය ගත්තොත් යුද්ධය ප‍්‍රබල ලෙස නිර්මාණය වීමට විධායක බලතල උපයෝගීවී තිබෙනවා. 1982 සංවර්ධන සභා මැතිවරණයේදී යාපනය ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය වීමටත් 83 කළු ජූලිය නිර්මාණය වීමටත් විධායක බලතල හේතු වුණා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. සංවිධානයට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසින් ආයුද සහ මුදල් ලබාදීම පිළිබඳවත් මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් ලබාදීම පිළිබඳවත් විධායක බලතල භාවිතා වී තිබෙනවා. ඒ නිසා යුද්ධය තීව‍්‍ර කරන්න විධායක ජනාධිපති ක‍්‍රමය උපයෝගී වෙලා තිබෙනවා. යුද්ධය අවසන් කරන්න ජනාධිපතිධුරය උපයෝගී වුණා කියලා තර්ක කරනවා නම්, ඇත්තටම යුද්ධය අවසන් වුණේ පස් වැනි ජනාධිපතිවරයාගේ කාලයේදී. ඒ නිසා මෙම තර්ක පදනම් විරහිත ඒවායි. 

රටේ අස්ථාවරත්වයට හේතුව : නව ව්‍යවස්ථාවක් සම්මත නොකිරීමයි 

ඒ වගේම ජවිපෙට චෝදනා කරනවා රට තුළ අරාජිකත්වයක් හදන්න 20වැනි සංශෝධනය ඉදිරිපත් කරනවා කියලා. 19වැනි සංශෝධනය යනු යම් අන්තර් කාලීන යෝජනාවක්. 19 සම්මත වනවාත් සමගම ඉතාම කෙටි කාලයක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කළ යුතුව තිබුණා. නමුත් එය සිදු නොවීම නිසා යම් අස්ථාවර බවක් මතුවෙලා තිබෙනවා. එම නිසා අඩුම තරමේ ස්ථාවරභාවයක් හදන්න 20වැනි සංශෝධනය යොදාගත හැකි වෙනවා. ඒ නිසා ඇත්තටම සිදුවන්නේ අස්ථාවර වෙලා තිබෙන රට 20වැනි සංශෝධනය මගින් ස්ථාවර වීමයි. ඒ වගේම විධායක ජනාධිපති ක‍්‍රමය සමග මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි කියලා කවුරු හෝ තර්ක කරනවා නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි සූදානම්. 

ජවිපෙ කාර්යභාරය 

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය කුමක්ද? විධායක ජනාධිපති ක‍්‍රමය නිර්මාණය වූ දිනයේ සිට විවිධ අවස්ථාවලදී නිශ්චිත ලෙස ජනාධිපතිවරණවලදීත් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප උත්සාහ කළේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ කි‍්‍රයාමාර්ග ගැනීමටයි. 1982දී නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයෙකු පිළිබඳව යෝජනාව ඉදිරිපත් කිරීමේදීත්්  අපේ අරමුණ වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක 1995 ජූලි 15වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ එකඟතාවය මත ජවිපෙ විසින් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්‍ෂකයා ඉල්ලා අස්වුණා. ඇය ලිඛිත එකඟතාවයක් දුන්නා. නමුත් ක‍්‍රියාත්මක නොවීම හේතුකොටගෙන අපි වර්ෂ කිහිපයක්ම ජූලි 15වැනිදා උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ගත්තා. 2005 මහින්ද රාජපක්‍ෂ මහතාත් 2010දී සරත් ෆොන්සේකා මහතාත් 2015දී මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ජවිපෙ උපක‍්‍රමය වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරගැනීමේ කි‍්‍රයාමාර්ග සඳහායි. අනෙකුත් ව්‍යාපාරවලට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අපි විධායක ජනාධිපතිධුරය නිසා රටට ඇතිවිය හැකි විනාශයන් පිළිබඳව දේශපාලනයේ පිරිහීම පිළිබඳවත් අශිෂ්ට රාජ්‍යයක් ඇතිවීමේ අවදානම පිළිබඳවත් රටට අවධාරණය කළා. විධායක ජනාධිපතිධුරය විටෙක වියරු ආකාරයෙන්ද තවත් විටෙක නිවට නියාලූ ලෙසද ක‍්‍රියාත්මක වීම නිසාය රටට ඇතිවී තිබෙන ප‍්‍රතිඵලයන් පිළිබඳව ජනතාවට  ඕනෑවටත් වඩා අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට තමයි, විධායකය අහෝසි කිරීමේ කි‍්‍රයාමාර්ගවලට එළඹීමට ශුද්ධ වූ අයිතිය තිබෙන්නේ. 

20වැනි සංශෝධනය අප ඉදිරිපත් කරන්නේ ඒ වුවමනාවට අනුවයි. ඇතැම් අය චෝදනා කරනවා මෙම යෝජනාව ඉදිරිපත් කරන්න කලබල ඇයි කියලා. ඇත්තටම තිබෙන්නේ කලබලයක් නොව ප‍්‍රමාදයක්. වර්තමාන ජනාධිපතිවරයාගේ දින 100 ඇතුළත විධායකය අහෝසි කිරීමේ කි‍්‍රයාමාර්ග ගත යුතුව තිබුණා. වත්මන් ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ඒ බව පොරොන්දු වුණා. නමුත් කි‍්‍රයාත්මක වුණේ නැහැ. 

තනි පුද්ගලයෙකුට අසීමිත ලෙස අධිකාරී බලයක් ලබාදීලා යටත් වැසියන් ලෙස සිටිමින් අශිෂ්ටත්වය කරා යනවාද, එසෙත් නැතිනම් එම අධිකාරී බලය සාමූහිකත්වයේ තිබෙන ආයතනවලට පවරා දී ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගනවාද යන්න අපි සියලූ දෙනා කල්පනා කළ යුතුව තිබෙනවා. 

ජවිපෙට නැගෙන චෝදනාව 

ඇතැම් අය තර්ක කරනවා, 20වැනි සංශෝධනය මගින් රනිල් වික‍්‍රමසිංහට ජනාධිපතිවරයා සතු බලතල පවරා දීමට ජවිපෙ කටයුතු කරනවා කියලා. එය පදනම් විරහිත කතාවක්. ඔවුන් අපිට මුලින් චෝදනා කළේ, රනිල් වික‍්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය කඩාකප්පල් කිරීම සඳහා ජවිපෙ 20වැනි සංශෝධනය ගෙනඑන බවයි. නමුත් එම චෝදනාව අසත්‍යයක් බව තහවුරු වුණා. එනිසා දැන් ඔවුන් චෝදනා කරනවා, මෛතී‍්‍රගේ බලය රනිල්ට අරන් දෙන්න කටයුතු කරනවා කියලා. අපි ඉතාම වගකීමෙන් කියනවා, 20වැනි සංශෝධනය නිසා දැන් තිබෙන බලතලවලට අමතරව ‘අයන්න’ක හෝ බලයක් අගමැතිවරයාට ලැබෙන්නේ නැහැ කියලා. මොකද 20වැනි සංශෝධනය කි‍්‍රයාත්මක වෙන්නේ මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිධුර කාලයෙන් පසුවයි. කාට හෝ තර්ක කරන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂට බලයක් හදලා දෙන්න කටයුතු කරනවා කියලා. මොකද දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව මහින්ද  රාජපක්‍ෂට රටේ නායකයා හෝ ආණ්ඩුවේ නායකයා වීමට නොහැකියි. 20වැනි සංශෝධනයෙන් පසුව මහින්ද රාජපක්‍ෂට ආණ්ඩුවේ නායකයා වීමට අවස්ථාවක් උදා වෙනවා. 

ස්තුතියි ! මහින්ද 

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා නුවරදී ප‍්‍රකාශ කළා, ඔහු පෞද්ගලිකව විධායක ජනාධිතිධුරය අහෝසි කරන්න එකඟයි කියලා. එම කණ්ඩායමේ ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍ර්වරයා මාධ්‍ය හමුවක් පවත්වලා එකඟතාවය පළකොට තිබෙනවා. එම කණ්ඩායමේ ප‍්‍රබල ප‍්‍රකාශකයෙක් වන බන්දුල ගුණවර්ධන කියලා තිබුණා, විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න එකඟයි, නමුත් එය කි‍්‍රයාත්මක වනවාත් සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියලා. ඒනිසා ඔවුන්ගේ පළමු ප‍්‍රවේශයට අපි ස්තුතිවන්ත වෙනවා. කොන්දේසි යටතේ හෝ ඔවුන් විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බව පිළිඅරගන තිබෙනවා. ඒ නිසා එම කොන්දේසි පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ මෙම සංශෝධනය ගෙනඑනු ලබන්නේ බල වුවමනාව වෙනුවෙන් නොව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරගැනීම සඳහායි. කවුරුන් හෝ මේ මත පදනම් වෙලා තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙනවා. 

මෙතෙක් කල් ජනාධිපතිවරයා ජනතාව විසින් පත් කළත් ඔහු කටයුතු කළේ ජන වරමට පටහැණිවයි. එම විධායක බලතල සහිත ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් සභා, ප‍්‍රාදේශීය සභාවල බලය ශුන්‍ය කර තමන්ට  ඕනෑ විදිහට පාලනය කරනවා. ඇමතිවරුන් ලයිට්කණු බවට පත් කරනවා. ඒ නිසා එවැනි තත්වයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැණියි. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න