ජනපති ජනමතයට ගරු කර සිදුකළ සංශෝධනයට පොහොට්ටු ලේකම් විරෝධය දක්වයි !

ජනපති ජනමතයට ගරු කර සිදුකළ සංශෝධනයට පොහොට්ටු ලේකම් විරෝධය දක්වයි !

දිගින් දිගටම සෞඛ්‍ය සේවයේ අර්බුද මතුවීම හමුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එම ධූරය දැරීමට නොසුදුසු බවට පක්ෂ විපක්ෂ කොටස් වල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් අද (23) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිදුවිය.

එහිදී කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ද, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර ද, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ ද පත් කර තිබේ.

මහින්ද අමරවීර වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඔහු හොඹවන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරවය.

එසේම වෛද්‍ය රමේෂ් පතිරණ හොඹවන කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ.

දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

පොහොට්ටුවේ විරෝධය !

කෙසේ වුවත් එහිදී සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් කෙහෙලිය රඹුක්වැල්ල ඉවත් කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පක්ෂයේ විරෝධය පළව ඇති අතර ඒ බව දක්වමින් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසා සිටියේ සිදුකළ සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය කනස්සල්ල පළකරන බවය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම තීරණය ජනාධිපතිවරයා ගත් වැරදි තීරණයක් බවය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

“කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධව බොරු චෝදනා නැගුවා. ඒ සියල්ල බොරුවක් බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව රමේෂ් පතිරණ මහතා වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන එතුමා සෞඛ්‍ය ඇමති ලෙස පත්කරලා තියෙනවා. කෙසේ වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව අපි දැනුවත් කළා. මොකද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5දෙනයි ඉන්නේ. නමුත් මෙතනිනුත් ඇමති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය ඇමති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දෙයට වැරදියි කියන්නත් අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා වුණත් වැරදි දේ කරනවා නම් වැරදියි. ඒක වැරදියි කියලා අපි ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට ඒක නොකර ඉන්න තිබුණා. ඒ ගැන අපි පක්ෂය විදියට දැඩි විරෝධය පළ කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න