රාජ්‍ය වෙසක් උත්සවයේ වෙනම ගේමක් : ඥාණසාර හිමියන් ක්ෂණිකව බණට වඩම්මවලා

රාජ්‍ය වෙසක් උත්සවයේ වෙනම ගේමක් : ඥාණසාර හිමියන් ක්ෂණිකව බණට වඩම්මවලා

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව 29 වනදා  බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවිධානය කර තිබු ජාතික රූපවාහිනී සජීවී ධර්ම දේශනයට කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව පුජ්‍ය  ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වඩම්මවාලීම හේතුවෙන් එම සජීව වැඩසටහනේ විකාශය අත්හිටුවීමට රූපවාහිනී බලධාරීන් කටයුතු කළ බව වාර්තා වෙයි.

ඥාණසාර හිමියන් වඩින බව පුර්ව ප්‍රචාරක කටයුතු වලටවත් දැනුම්දී තිබුනේ නෑ - නිෂ්පාදක කණ්ඩායම 

29 වනදා  සංවිධානය කරතිබූ අටවිසි බුද්ධ පුජාවේ සහ ධර්ම දේශනය සම්බන්ධව පුර්ව ප්‍රචාරක කටයුතු වලදී අදාළ ආගමික වතාවත් ඉටුකිරීම සඳහා වඩින බව සඳහන්ව තිබුණේ වෙනත් ස්වාමීන්වහන්සේ නමකගේ නමක් වන අතර රූපවාහිනී නිෂ්පාදක කණ්ඩායම සඳහන් කර සිටින්නේ අවසන් මොහොතේ එම හිමිනම වෙනුවට ඥාණසාර හිමියන් සහභාගී වන බව සංවිධායකයන් තමන් දැනුවත් කළ බවය.

සිදුවෙමින් පැවතියේ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සජීවී විකාශයක් බැවින් තමන් ඒ සම්බන්ධව බලධාරීන් දැනුවත් කළ බවත් එහිදී ලැබුණු උපදෙස් මත තමන් සජීවී විකාශය අත්හිටවූ බවද ඔවුන් සඳහන් කරයි.

සජීවී විකාශයක් සිදුකිරීමට සැලසුම් කිරීමේදී වගකීම් සහගතව කටයුතු කරන්නට තිබු බවත් කුමන්ත්‍රණකාරී ලෙස අවසන් මොහොතේ දැනුම්දීම වෙනුවට පුර්ව දැනුම්දීමක් කර තිබුණානම් ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට වැඩසටහන විකාශය කිරීමට තමන්ට අවස්ථාව තිබු බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම සති ගණනාවක සිට රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී රූපවාහිනී වැඩසටහන් සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවති බවත් ඒ කිසිඳු අවස්ථාවක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සජීවී ධර්මදේශනය සඳහා සහභාගී වන බවට දැනුම්දීමක් සිදුනොවූ බවද ඔවුන් සඳහන් කරයි.

නම හංගගෙන හිටියෙ මොකටද : ප්‍රශ්නයක් ඇතිවීමේ අවධානම නිසා සජීව විකාශය අත්හිටවූවා - රූපවාහිනී සභාපති 

මේ සම්බන්ධව newstube.lk ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන වෙතින් සිදුකළ විමසීමේදී බුද්ධ ශාසන නිලධාරීන් අවසන් මොහොත දක්වා  ඥාණසාර හිමියන් අදාළ අවස්ථාවට  සහභාගී වන බව දැනුම්දී නොතිබූ බවත් එවැනි පුර්ව දැනුම්දීමක් සිදුනොකර අවසන් මොහොත දක්වා රහසක් ලෙස තබාගෙන තම නිෂ්පාදක කණ්ඩායමට කිසිවක් කරකියා ගන්නට නොහැකි ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් ප්‍රශ්නකාරී තත්ත්වය මතුවූ බවද ඔහු සඳහන් කරයි.

එසේම රාජ්‍ය නාලිකාවක් ලෙසත් රාජ්‍ය වෙසක් උත්සවය වීම නිසාත් සජීවී විකාශයක් කිරීමේදී කිසියම්හෝ ජාතිවාදී හෝ අන්තවාදී ප්‍රකාශයක් සිදුවූවා නම් රජය දැඩි අපහසුතාවයට පත්වීමේ අවධානම සැළකිල්ලට ගෙන තමන් අමාත්‍යංශය වෙතින් ක්ෂණිකව  උපදෙස් පැතීමට තමන්ට සිදුවූ බවත් එහිදී ලැබුණු උපදෙස් අනුව සිදුකළ හැකි එකම විකල්පය ලෙස සජීවී විකාශය අත්හිටුවීමට කටයුතු කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.   මේ සම්බන්ධව අප මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරියෙකු සඳහන් කර සිටියේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු භාරව සිටි පාර්ශව මෙම සිදුවීමේ වගකීම ගතයුතු බවය. 

ප්‍රශ්නය ඥාණසාර හිමියන් බණට වැඩමවීම නෙවෙයි : කලින් දැනුම්නොදී කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කිරීමයි : මීට කලිනුත් ආණ්ඩුව නිකරුණේ චෝදනා ලැබුවා - අමාත්‍යාංශ ඉහළ නිලධාරියෙක් 

වැඩසටහනක් සඳහා න්‍යාය පත්‍රය සැකසු අවස්ථාවේ ඥාණසාර හිමියන්  අදාළ ධර්ම දේශනය සිදුකරන බවට කිසිඳු දැනුම්දීමක් සිදුනොකළ බවත් ඒ වෙනුවට වෙනත් හිමිනමකගේ නම සඳහන් කර අවසන් මොහොතේ උන්වහන්සේ ඊට සහභාගී වන බව දැනුම්දීම කොහෙත්ම සාධාරණ නොවන බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරියා මෙසේද පැවසීය.

ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේදී ඊට ඥාණසාර හිමියන් සහභාගී කරගත් බවට දැඩි විවේචනයක් එල්ල වුණා. ඒ උන්වහන්සේ පසුගිය කාලයක පටන් ජාතිවාදී ස්ථාවරයක සිට කටයුතු කිරීම හේතුවෙන්. ඒ වගේම මහනුවර සිදුවීමේ සිට අවස්ථා ගණනක රටේ ජාතිවාදී පදනමින් ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා වෙසක් උත්සවය, රාජ්‍ය වෙසක් උත්සවයක එවැනි ජාතිවාදී අදහසක් නිකුත් කෙරුනා නම් මොකද කරන්නේ? ආණ්ඩුවට එල්ලගෙන ගැහීමේ අවධානමක් එතන තියනවා නේද? අන්න ඒ නිසයි අමාත්‍යවරයවත් දැනුවත් කර මේ තීරණය ගෙන තිබෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ ඥාණසාර හිමියන් සම්බන්ධව නෙවෙයි. තවමත් රටේ ජාතිවාදී ප්‍රවණතාව මත බෙදී වෙන්වූ ස්වභාවයක් පැවතීමයි. අළු යට ගිනිවලට සුළං පොදත් ඇති. අන්න ඒ නිසා සජීවීව විකාශය වීම අත්හිටුවීම හැර විකල්පයක් අපට තිබුණේ නෑ. 

රජය දෙයක් කරනකොට වගකීමෙන් කරන්න ඕන. කාගේ හිත රිදුනත් කරන්න දෙයක් නෑ. යම් කිසි වැරදි අදහසක් අනියමින් හෝ සමාජගත වුනා නම් ආණ්ඩුවට වගේම ජන සමාජයටත් ප්‍රශ්නයක් වෙන්න තිබුණා. හොඳම දේ කුමන්ත්‍රණකාරී ලෙස හෝ යටිකූට්ටු ලෙස කටයුතු නොකර කරන්නේ මොකක්ද යන්න පැහැදිළි සාකච්ඡාවක් තුළ සිදුකිරීමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න