රුපියල් ලක්ෂ 32 ක තීරු බදු ගෙවීමට නොහැකිව ශ්‍රී ලංකා රේගු භාරයේ පැවති බුදු පිළිම 1000 බදු නිදහස් කර නිකුත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
මංගල - රේගු අධ්‍යක්ෂක ජනරාල් අමතයි
එහිදී අදාළ බුදු පිළිම නිදහස් කිරීම පමාවීම සම්බන්ධවද අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා ඇති අතර එහිදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ බදු නිදහස් කර බුදු පිළිම නිදහස් කරන ලෙසට කිසිඳු ඉල්ලීමක් මෙතෙක් නොලැබීම හේතුවෙන් එම බුදු පිළිම නිදහස් කිරීමට හැකියාවක් නොවූ බවය.
ලිඛිත ඉල්ලීමක් නොමැතිව මොකුත් කරන්නේ කොහොමද - රේගු අධ්‍යක්ෂ ජනරාල්
එසේම බුදු පිළිම පමණක් නොව විදේශයක සිට මෙරටට ගෙන්වනු ලබන සීමිත ප්‍රමාණයක් හැර ඕනෑම භාණ්ඩයක් නිදහස් කිරීමට නම් ඊට අදාළ බදු මුදල් ගෙවිය යුතු බවත් එහිදී ජාතික සංඝ සම්මේලනය හෝ වෙනත් කිසිඳු පාර්ශවයක් වෙසක් පොහෝ දා පිංකමක් බව සඳහන් කර එම පිළිම තොගය ඇප නිදහස් කරන ලෙසට ලිඛිත ඉල්ලීමක් කර නොමැති බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍යවරයා දැනුවත්කොට ඇත.
පිළිම ප්‍රශ්නය මංගලට කිව්වේ සජිත්
අදාළ පිළිම ප්‍රශ්නය සම්බන්ධව මංගල සමරවීර අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ලබාදුන් තොරතුරකට අනුවය.
එම තොරතුර ලබාදෙමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, වෙසක් පිංකමක් සඳහා ගෙන්වා ඇති බුදු පිළිම 1000ක් රුපියල් ලක්ෂ 32ක තීරුබදු හේතුවෙන් රේගු භාරයේ පවතින බවය. එහෙයින් ඒවා නිදහස් කරන්නට මැදිහත්වන ලෙස සජිත් අමාත්‍යවරයා මංගල අමාත්‍යවරයා වෙතින් ඉල්ලා ඇත.
එහිදී තමන් වෙත එවැනි බදු සහනයක් සම්බන්ධව වාර්තා වී නොමැති බව සඳහන් කර ඇති මංගල අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් විමසා ඇත්තේද ඒ අවස්ථාවේදීය.
රේගුවෙන් ලිඛිත ඉල්ලීමක් කරන්න කියන්න : ඉතුරු ටික මම බලාගන්නම් - මංගල
රේගු අධ්‍යක්ෂවරයා සිදුකළ දැනුම්දීමට අනුව පසුව මංගල අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ තීරු බදු සහනය ලබා ගැනීම වෙනුවෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන ලෙස අදාළ පාර්ශව වෙත දැනුම්දෙන ලෙසය. එසේම එවැනි ඉල්ලීමක් නොමැතිව ශ්‍රී ලංකා රේගුවට බුදු පිළිම වුවත් නිදහස් කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවත් , විෂයභාර අමාත්‍යවරයා වෙතින් අවශ්‍ය තීරු බදු සහනය නියමිත පටිපාටියට අනුව ඉල්ලා සිටියා නම් මේ වන විටත් පිළිම නිදහස් කර ඇති බවද මංගල අමාත්‍යවරයා එහිදී දන්වා ඇත.
මේ පිළිබඳ newstube.lk මංගල සමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයකු වෙතින් විමසූ අවස්ථාවේ අදාළ ලේකම්වරයා සඳහන් කර සිටියේ බුදු පිළිම නිදහස් කිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකා රේගුවට මෙන්ම ඒවා මෙරටට ගෙන්වූ පාර්ශව වෙත දැන්වීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බවය. එසේම මෙවැනි ප්‍රශ්න මතුවූ විට විරෝධතා දැක්වීමට පෙර ඒ ගැන අමාත්‍යවරයා දැනුවත් කිරීම වැදගත් බවත් ප්‍රශ්නය ගැන දැනගත් වහාම ඒ ගැන දැනුම්දුන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ස්තුති කරන බවද ලේකම්වරයා එහිදී පැවසීය.

