ආණ්ඩු වෙනස් වන විට වෙනස්  නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් !

ආණ්ඩු වෙනස් වන විට වෙනස්  නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් !

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කළේය.

එහි මූලික පියවර ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා 2024 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඩිජිටල් ආර්ථිකය ලංකාව තුළ ප්‍රචලිත කිරීමට ලබන වසරේදී ජාත්‍යන්තර ආයෝජන වැඩමුළුවක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන දෙකකට අධික ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රතිලාභ 2025 වන විට ලාංකේය ජනතාවට භුක්තිවිඳීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වන තෙක් ඩිජිටල්කරණය සහ කෘතිම බුද්ධිය වැනි වචන මෙරට භාවිතයට යෙදුණේ ඉතා අඩුවෙන්. ජනාධිපතිතුමාගේ දුර දක්නා නුවණ නිසා ආර්ථිකය ගොඩ නැංවීමට ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය පහසුවෙන් යොදා ගත හැකි බව පෙන්වා දුන්නා. ලෝකයේ රටවල මෙම ක්‍රමවේද භාවිතා කරමින් ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. ඒ අනුව මේ රටද දියුණුවන ලෝකය සමඟ ඉදිරියට යාමට නම් ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධියට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් මෙතෙක් මෙරට ආර්ථිකයට සියයට 03ක් වශයෙන් ඩිජිටල් ආර්ථිකය දැක්වූ දායකත්වය සියයට 20 දක්වා වැඩිකිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා 2024 අයවැය මඟින් මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ වගේම නව නිපැයුම් සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් සිදු කිරීමට ද මුල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

ඒ වගේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි පරිසරය නිර්මාණය වනවා. ඒ තුළින් ආර්ථික දියුණුවට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනටමත් පෞද්ගලික අංශය වේගයෙන් ඩිජිටල්කරණයට යොමු වෙමින් තිබෙනවා. ඒ හා තරගකාරී සේවාවන් සැපයීමට රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට ඩිජිටල්කරණය මඟින් හැකියාව තිබෙනවා. මෙම සමස්ත ක්‍රියාවලිය හරහා ශක්තිමිත් ආර්ථිකයක් ගොඩ නැගීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න