සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා  ISTRM උතුරු පළාත් මහජන අදහස් විමසයි !

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා  ISTRM උතුරු පළාත් මහජන අදහස් විමසයි !

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් උතුරු පළාතේ යාපනයේ “ජාතික පළාත් මහජන අදහස් විමසීම”සාර්ථකව සිදු කර ඇත.

ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා අවබෝධය සහ නිර්දේශ රැස් කිරීමේ අරමුණින් මෙම අදහස් විමසීම සිදු කෙරෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ සංවිධාන, ආගමික නායකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්, බිම් මට්ටමේ ප්‍රජාවන්, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් සමඟ දෙසැම්බර් මස 10 සිට 12 දක්වා රැස්වීම් පවත්වමින් මෙම අදහස් විමසීමේ කටයුතු සිදු කරන ලදී.

තිරසර සාමය හා සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් වී ඇති ප්‍රජා අභියෝග සහ ප්‍රධාන ගැටළු පිළිබඳව පුළුල් ලෙස අදහස් ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණු අතර අනතුරුව අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් යාපනය නාග විහාරයේ පූජ්‍ය ධම්මික හිමි, නල්ලෙයි ආදීන කුරුක්කල්, යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් බී. ඥානප්‍රගාසම් රදගුරුතුමන් ප්‍රමුඛ ආගමික නායකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

රටේ ජනවාර්ගික සහජීවනයේ වැදගත්කම අවධාරණය කරමින් ආගමික නායකයන් විසින් මහජනතාවගේ අපේක්ෂාවන්, අදහස් සහ අවශ්‍යතා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය ආශිර්වාදය ද පිරිනැමිණි.

මේ අතර සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංශ විසින් අන්තර්වාර ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ ආගමික නායකයින් ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කළ අතර, පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට නියමිත සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අදහස් දැක්විය.

අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අංශයේ සහ නීති අංශයේ විධායක අෂ්විනි හපන්ගම, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ආචාර්ය යුවි තංගරාජා සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා හා ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න