Language Switcher

V2025

උමා ඔයට අදාළ කැබිනට් පත්‍රිකාව අනුර ගේ : මහින්දගෙන් නිවේදනයක් !

2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි .

2005 ජනවාරි 4 දින අංක 05/0036/039/002 දරන අනුර දිසානායක ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ ස්ථිර ජල මුලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් උමා ඔය ජලය එම ප්‍රදේශයට හරවා යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යනුවෙන් බවද හිටපු ජනාධිපති පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත්තේ "උමා ඔය ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කළ නිවේදනයක ය.

එහි මෙසේද සඳහන් කර ඇත .

උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර වලට පසුව රටේ විශාලම ජල විදුලි බලාගාර වලින් එකක් වනු ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තවත් අඩු වියදම් විදුලි ප්‍රභවයක් දායාද වනු ඇත. මධ්‍යම කදුකරයේ සිට ජලය ගිනිකොනදිග වියළි කලාපයට හරවා යැවීම ඉලක්ක කරගත් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2010 මාර්තු මාසයේදීය. දශක ගණනාවක් මුලුල්ලේ සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුනත් කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම මම ජනාධිපති ධූරය දැරූ කාලයේ එකින් එක ඉදි වීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂියා කළ පාර්ශවයන් මේ ජයග්‍රහණ හෑල්ලූවට ලක් කිරීම සඳහා මගේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයතා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගියේ ය.

මෙවැනි මුල්‍යමය අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසිදාක කිසිවෙකුවත් විසින් මහජනතාව ඉදිරියේ ගෙන හැර දක්වා නොතිබුණද, මෙවන් ප්‍රචාර නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන කවුරුන් වූවත් හොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම බිහි වී ඇත. මෙවැනි ප්‍රචාර හේතුකොට ගෙන රටට යමක් කිරීමේ හැකියාව ඇති අය දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසුණු අතර, කයිවාරු ගැසීම, විවේචනය කිරීම හා බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත් විය. යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ නම් එම සාක්ෂි පරීක්ෂා කර බැලීම වෙනම කාරණයකි. නමුත් කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලනික චේතනාවෙන් කරන චෝදනා නිසා අත්‍යවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති පවා ආරම්භ කිරීමට ආණ්ඩු සහ දේශපාලඥයින් අතර මැලිකමක් ඇතිවීම වැලැක්විය නොහැක.