Language Switcher

V2025

ජනාධිපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය : බැසිල් ආපු ගමන් ගෝඨාගේ පොත එළියට !

මාර්තු 05 වෙනිදා දවසේ චරිතය වුණේ ඇමරිකාවේ ගිහින් හිටපු පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ. තව දවස් කිහිපයක් දුවන්න තරම් දේවල් බසිලාගමනය ගැන තිබුණත්, පැය 24න් බැසිල්ව යට කරගෙන ඔන්න තවත් රාජපක්ෂවරයෙක් කරලියට ඇවිත්. ඒ වෙන කවුරුත් නෙවෙයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

ගෝඨා ඒ ආවේ හිස් අතින් හෝ තුවක්කුවක් එහෙම අරගෙනත් නෙවෙයි. ගෝඨා ආවේ පොතක් අරගෙන. පොතේ නම ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය. ගෝඨා මෙහෙම පොතක් ලියන බව මෙතෙක් තිබුණේ රහසක් විදිහට. වැඩිය නෙවෙයි, කොහෙත්ම හාහෝවක් ඒ ගැන තිබුණේ නෑ. ගෝඨා සද්ද නැතුව අවුරුද්දක් විතර කල් අරගෙන පොතේ වැඩේ ඉවර කරලා. ඔය ගෝඨා ජනාධිපති කාලේ අන්තිම මොහොතේ වගේ උපදේශක තනතුරක් ලබපු එරන්ද ගිනිගේ ඇතුළු ඉතාම කිහිපදෙනෙක් තමයි වැඩේට සපෝර්ට් කළා කියන්නේ.

ගෝඨා සඳහන් කරන විදිහට මෙම කෘතියේ අන්තර්ගතය එහි පිට කවරයේ මෙහෙම සඳහන් වෙනවා. "ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාර් උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයයි.

1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විද, 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව තුළ විදේශීය මැදිහත්වීම් උත්සන්න විය. ශ්‍රී ලංකාව නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපාය මාර්ගය වූයේ රට තුළ වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි."

2019 නොවැම්බර් මාසයේදී ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ගෝඨාභය , 2022 ජුලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ගෝඨාභය ගේ ඉල්ලා අස්වීම වගේම ඒ ආශ්‍රිත සිදුවූ සිදුවීම් ගැන එක එක අය විවිධ ප්‍රකාශ කළා. නමුත් ගෝඨාභය නෙවෙයි වචනයක් කතා කලේ. ගෝඨා කිසිම දෙයක් කිව්වේ නෑ. හැබැයි සද්ද නැතුව ඉඳලා කියන්න තියෙන කතාව ලියලම දීලා.

වැඩේ කියන්නේ ඊයේ බැසිල් ආවා. මාර්තු 07 වෙනිදා " ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" මැයෙන් " ගෝඨාභය ලියපු පොත එළිදක්වනවා කියලා අද ඒ කියන්නේ මාර්තු 06 නිව්ස් එක එලියට එනවා. මේ එක්කම ජනාධිපතිවරණය නිසා උණුසුම් වෙමින් තිබුන දේශපාලන කරලිය හොඳටම උණුසුම් වෙලා. සමහරු තක්බීර් වෙලා. ආරංචි විදිහට රාජපක්ෂ පවුලේ උදවියවත් මේ පොතේ අන්තරගතය දැකලා නෑ. ඒ සේරම රහසක් හැටියට තමයි තියාගෙන තියෙන්නේ. එහෙම තියාගෙන ඉඳලා බැසිල් ආපු ගමන්ම මේකත් එලියට දැම්මේ රාජපක්ෂ පවුලේ එකඟතාවයක් අනුවද ? නැද්ද ? කියලා සමහරු හොයන්න අරගෙන. සේරටම වඩා කලබල වෙලා තියෙන්නේ පොහොට්ටු පක්ෂයේ සමහර නායකයන්ලු. තම තමන් ගැන ගෝඨා මොන මොනවා ලියලද දන්නේ නෑ කියලා. සමහර බෙබිලත් ඇස් ලොකු කරගත්තළු බාප්පා එලියට දාන්න යන පොත ගැන අහලා.

ඒ එක්කම යන කතාවක් තමයි මේ වැඩේ පිටිපස්සෙත් ඉන්නේ ගෝඨාව ජනාධිපති ධූරයට ගේන්න මරාගෙන මැරෙන ගේමක් ගහපු දිලිත් කියලා. ඒ වගේම දිලිත් මහින්ද - බැසිල් කඳවුර ප්‍රතික්ෂේප කළත් ගෝඨාට තවමත් ලැදියි කියලත්. සමහරු ඒ අස්සේ කියන්න අරගෙන දිලිත් ජනාධිපතිවරණයට එනවා කියලා , පක්ෂයකුත් අරගෙන රට වටේ යන්නේ ආයෙත් ගෝඨාව දේශපාලනයට ගේන්න කියලා. ඒ වගේම පහුගිය ටිකේ හාමුදුරුවරුන් කිහිප නමක්මත් කියලා තියෙනවාලු, ආයෙත් ගෝඨාභය මහත්තයා ගේන්න වෙනවා. නාමල්ලා බැසිල්ලා පොහොට්ටු දේශපාලනය කරන විදිහට නම් මෙදා කපේ ආගමට දහමට හිතවත් පාලනයක් පිහිටවා ගන්න ලැබෙන්නේ නෑ කියලා. ඒ අහන කියන කතා ඇහුවාම නම් ගෝඨා වැරදි අඩුපාඩු හදාගෙන ආයෙත් වෙනම ගමනකට ලෑස්ති වෙනවද කියලත් එහෙ මෙහෙ කතා යනවා.

  • දේශපාලන වාර්තාකරු