Language Switcher

V2025

රනිල් : එකම සහ අවසාන විසඳුම !

ඔබ යම් හෙයකින් අධෛර්යමත් වී ඇත්නම්, වෙහෙසට පත්වීම හෝ වියපත් වීම හේතුවෙන් ඔබට වැඩ කිරීමට නොහැකියයි සිතෙන්නේ නම්, විරුද්ධවාදීන්ගේ නිර්දය විවේචන හමුවේ ඔබ කලබලයට කනස්සල්ලට පත් වේ නම්, සියල්ල අතහැර ගුහාගත වීමට සිතේ නම්, මොහොතකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙස බලන්න. අද දින සිය 75 වැනි ජන්ම දිනය සමරන ඔහු, සිය දීර්ඝ දේශපාලන ජීවිතයේ කිසිදු දිනෙක අධෛර්යයට පත් වී නැත; කිසිදු අවස්ථාවක සිය දේශපාලන ක්‍රීඩාව අතහැර දමා නැත;

දහසකුත් එකක් නිර්දය විවේචන, අභූත චෝදනා හමුවේ කලබල වී නැත; ඒ කිසිදු විවේචනයකට, චෝදනාවකට පිළිතුරු දීමට ඉක්මන් වී නැත. අද, ඔහු කළ කී දේ නිවැරදි බව බොහෝ අයට පසක් වෙමින් තිබේ. ඔහුව දැඩිව විවේචනය කළ පිරිස්ම අද ඔහුගේ වැඩපිළිවෙළට සහයෝගය දෙමින් එහි ප්‍රගතියේ කොටස්කරුවන් වී ඇත. එහෙයින් තමා නිවැරදි බව ඔප්පු කිරීමට රනිල්ට වෙනත් සාධක අවැසි වන්නේ නැත.

ඔබ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි වන්නෙකු හෝ විරෝධය පළ කරන්නෙකු විය හැකිය. ඔබ ඔහුට අකැමති වන්නට ද පුළුවන. නමුත් මා සෑම විටම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවසන්නේ, ඔබ ඔහුට අකැමති වුවත් ඔහුගේ අත්‍යාලංකාර දේශපාලන ක්‍රීඩාව දෙස බලා ඵලදායි දේශපාලන විද්‍යා පාඩමක් ඉගෙන ගන්නා ලෙසයි. මන්ද, ඔහුගේ එම ක්‍රීඩාවේ සෑම විටම නවමු සැලසුම්, ක්‍රමවේද, විධික්‍රම සහ ක්‍රියාකාරකම් අඩංගු වීම හේතුවෙනි. තම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එකම පාර්ලිමේන්තු ආසනය භාවිතයට ගනිමින් ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නායකත්වයට පත් වීම යනු ශ්‍රී ලංකාවේ තබා කිසිදු විදේශ රාජ්‍යයකවත් කිසි ලෙසකින් පහසු ඉලක්කයක් නොවේ. එම ඉලක්කය සපුරා ගැනීම, රනිල්ගේ තියුණු බුද්ධි මහිමය, හසළ දැනුම, දීර්ඝ කාලීන දේශපාලන පළපුරුද්ද, ඉවසීම, විනය සහ නොපසුබට උත්සාහය යන සියල්ලේ ප්‍රතිඵලයකි. අන් අය සිතීමට පටන් ගන්නා විට ඔහු ක්‍රියාවෙන් ප්‍රතිඵලය ද පෙන්වා හමාරය. ඔහු සුහුරු දේශපාලනයේ රුසියෙකි.

ප්‍රායෝගික දේශපාලනයේ බොහෝ ගතිකයන් මනාව ප්‍රගුණ කර ඇති රනිල් සිතන්නේ අන් දේශපාලකයන්ට වඩා අතිශයින් වෙනස් මානයන්ගෙනි. ඔහුගේ විශේෂත්වය එයයි. ඔහුගේ විරුද්ධවාදීන්ට පවා ඔහු නැතිව බැරිවන්නේ එබැවිනි. ඔහු නැතිව ඔවුනට දේශපාලන අනෙකෙකු සොයාගත නොහැකිය; ඔහු නැතිව ඔවුනට දේශපාලනයේ තනිව ඉදිරියට යා නොහැකිය. යථාර්ථය නිවැරදිව ග්‍රහණය කරගෙන සත්‍යය කෙරෙහි පමණක් විශ්වාසය තැබීම සහ සත්‍යය නොවළහා පැවසීම රනිල්ට කළ හැකි වුවත්, ඔහුගේ එම හැකියාව සහ පෞරුෂය ශ්‍රී ලංකාවේ අන් කිසිදු දේශපාලකයෙකුට නැත.

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික මර්මස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම, ආර්ථිකමය, සමාජමය සහ සංස්කෘතිකමය වශයෙන් වාසි සහගත ලෙස භාවිතයට ගන්නා ආකාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගික සැලසුම්වල ප්‍රබල ස්ථානයක් ගනී. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) වර්තමාන සභාපතිත්වය දරමින්, ලෝකයේ ප්‍රබලතම සාගර කලාපය වන ඉන්දියානු සාගර කලාපයේ පාලනය සියතට ගැනීම ඔහුගේ අරමුණ වී ඇත. මේ හරහා ඉන්දියානු සාගර කලාපීය රටවල් සමඟ ගෙන යන සහ ඉදිරියේදී ඇති කර ගැනීමට නියමිත වාණිජ සබඳතා තුළින් ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරභාවයක් ළඟා කර ගත හැකි වනු ඇත.

බොහෝ විට රනිල්ට සහ පොදුවේ ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයට එල්ල වන, ‘නව ලිබරල්වාදයට පක්ෂපාතී වීම’ පිළිබඳ විවේචනයට අභියෝග කිරීමට ඔහු සමත් වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ ඉතා විධිමත් සහ නිවැරදි ආකාරයෙන් ගනුදෙනු කරන අතරතුර, ජනතාවට සුබසාධනය සැලසීමටත්, ඔවුන් ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමටත්, ඔවුන්ට ඉඩම් සහ නිවාස අයිතිය ලබා දීමටත්, දරුවන්ට නිසි පෝෂණය, සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපනය ලබා දීමටත් අදාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මඟින් නව ලිබරල්වාදයට පක්ෂපාතී වීම පිළිබඳ විවේචනය ඔහු විසින් බල රහිත කර තිබේ.
දේශගුණික විපර්යාස හමුවේ ඒ පිළිබඳ හැදෑරීම සහ පරිසරය සුරැකීම වෙනුවෙන් ප්‍රතිපත්ති ගෙන ඒම, පුනර්ජනනීය බලශක්ති මූලයන් ප්‍රවර්ධනය කරමින් සුළං බලය සහ සූර්ය බල ශක්තිය භාවිතයට ගැනීම, හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදනය, කාබන් වෙළඳාම ආදී නව ප්‍රවේශයන් සුවිශේෂී වේ. සුහුරු කෘෂිකර්මය මඟින් ඉඩම්වල සහ අස්වැන්නේ ඵලදායීතාවය ඉහළ නැංවීම, අපනයන දිරිමත් කිරීම සහ සංචාරක ව්‍යාපාරය නිර්මාණශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ඉලක්ක මේ වන විට ප්‍රගතිය කරා ගමන් කරමින් තිබේ. කෘතිම බුද්ධිය පිළිබඳව පාසල් විෂයමාලාවලට ඇතුළත් කිරීම අධ්‍යාපනය නවීන ලෝකයට ගැළපෙන අයුරින් නවීකරණය කිරීමේ එක් සාධනීය පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. කාන්තාවන් සවිබල ගන්වා සමාජයේ ඉහළ ස්ථානයකට යොමු කිරීම අරමුණු කර ගනිමින් නුදුරු අනාගතයේ ගෙන ඒමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානත්වය පිළිබඳ පනත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට නව අවස්ථා උදා කරනු ඇත.

මහත් අර්බුද රාශියක් මධ්‍යයේ 2022 මැයි මස 12 වැනි දින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ පිළිබඳව, “Ranil: Return of the Master” (“රනිල්: ස්වාමියාගේ පුනරාගමනය”) යන හිසින් යුතුව Groundviews වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක මෙසේ සඳහන් විය.

“මෙය මෙතෙක් මුහුණ නොදුන් වෙනස්ම අභියෝගයක් බැවින් රනිල් ඊට මුහුණ දෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය දැන් පැන නැඟී ඇත. එරික් සෝල්හයිම් වරක් සඳහන් කළ පරිදි, රනිල් වික්‍රමසිංහ මහා බුද්ධිමතෙකු මිස වීදි සටන්කරුවෙකු නොවේ. සිංහල වීදි සටන්කාමී ජනතාව ඉදිරියේ ඔහුගේ බුද්ධිය අසාර්ථක වූ බව ඔප්පු වී ඇත. රනිල් කිසිදා ජනතාවාදී නායකයෙකු ලෙස නැඟී නොසිටි නමුත් ඔහු සෑම විටම චෙස් ක්‍රීඩාව සඳහා තමාගේම පිටියක් නිර්මාණය කර ගත්තේය. ඔහු දැන් පිති හරඹ කරන්නේ වීදි සටන් කළ රාජපක්ෂලා ඇද වැටුණු තණ තිල්ලකය.

අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූයේ ගැලවුම්කාරයන් නොමැතිව ජාතිය බේරා ගනු පිණිසයි. රනිල් මෙම අභියෝගය ජය ගතහොත් ඔහු ජනතාව අතර අමතක නොවන නායකයෙකු වනු ඇත. ඔහු අසමත් වුවහොත් හෝ අන් අය විසින් ඔහු අසමත් කරනු ලැබුවහොත් රට ආපසු හැරවිය නොහැකි අර්බුදයකට ඇද වැටෙනු ඇත. ඉතිහාසය විශිෂ්ට ගුරුවරයෙකු වන අතර බොහෝ විස්මයන් සඟවයි. 2005 දී රනිල් පැරදවීමට දෙමළ ජනතාව වගකිව යුතු වූ විට එය ඔවුන්ටම ව්‍යසනයක් විය. දැන් සිංහල ජනතාව රනිල්ව පැරදවුවහොත් එය අනිවාර්යයෙන්ම ඔවුන්ට ද ව්‍යසනයක් වනු ඇත.”

අනතුරුව අගමැති ධුරයෙන් නොනැවතී ජනාධිපති ධුරයට පත් වීමට රනිල් සමත් විය. එම සංසිද්ධිය, රට මහත් ව්‍යසනයකින් මුදවාගෙන ආරක්ෂිතව ඉදිරියට ගෙන යාමට පදනමක් දැමීය. දේශපාලන, ආර්ථික වශයෙන් පමණක් නොව සමාජ සහ සංස්කෘතික කඩා වැටීමකට ලක් වී, ජනතාවගේ බලාපොරොත්තු සුන්වී තිබූ රාජ්‍යයක් කෙටි කාලයක් තුළ නව බලාපොරොත්තු ඇති කරන, ප්‍රගතිය කරා ගමන් කරන, ලොව බොහෝ පිරිස් කතාබහ කරන, සංචාරය කරන, වර්ණනා කරන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ අසීරු අභියෝගය ඔහු ජයගෙන ඇත.

අරගලකරුවන් රටේ මර්මස්ථාන සියතට ගෙන රාජ්‍ය බලය අභියෝගයට ලක් කරමින් සිටි වාතාවරණයක, පාර්ලිමේන්තුව ගිනි තබා රටේ ව්‍යවස්ථාදායකය අඩපණ කිරීමට තැත් කළ දේශපාලන බලවේග මැඩ පවත්වමින් ඔහු රට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පාලනය ස්ථාපිත කළේය. චීනය, ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුන් කොන් අරගලයක යෙදෙමින් සිය බලය පැතිරවීමට උත්සාහ කළ රාජ්‍යයක විදේශ සබඳතා ඔහු උපක්‍රමශීලීව සමබර කළේය. විදේශ සංචාරකයන් විසින් අතහැර දමන ලද රටක් කෙටි කාලයක් තුළ ඔහු සංචාරක පාරාදීසයක් බවට පත් කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන සහ විදුලිය නොමැතිව අකර්මණ්‍ය වූ ජන ජීවිත සහ කර්මාන්ත ඔහු යථා තත්ත්වයට පත් කළේය.

තම පක්ෂයට එක් අසුනක් පමණක් ඇති පාර්ලිමේන්තුවක බහුතරයේ සහයෝගය ලබා ගනිමින්, විරුද්ධවාදීන්, වෘත්තීය සමිති, විරෝධතා, අරගල ආදී බොහෝ බාධක කළමනාකරණය කර ගනිමින්, බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රාජ්‍යයක සංහිඳියාව මනාව පවත්වා ගනිමින් ඉතා අසීරු ඉලක්කයක් කරා සුහුරු ලෙස ගමන් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු, ඇත්ත වශයෙන්ම සියලු දෙනාගේ මහත් ගෞරවයට පාත්‍ර විය යුතු චරිතයකි.

දේශපාලන පක්ෂ සහ මැතිවරණ පොරොන්දු පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටී ඇති යුගයක ජනතාව ශක්තිමත් කළ හැකි වන්නේ විශ්වසනීය ප්‍රායෝගික වැඩපිළිවෙළකට සහ එය නොපැකිළව ක්‍රියාවට නැංවිය හැකි නායකයකුට පමණි. එය සපුරාලිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව මාගේ විශ්වාසයයි. ඔහුගෙන් අපට තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබේ; ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත සුහුරු රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඔහුට තවත් බොහෝ දේ කිරීමට තිබේ. ඒ සඳහා ඔහු චිරාත් කාලයක් රාජ්‍ය නායකත්වයේ සිටිය යුතුයයි මම යෝජනා කරමි.
ගරු ජනාධිපතිතුමනි, නායකතුමනි, මම ඔබට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ
අධ්‍යයනාංශ ප්‍රධාන
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය