Language Switcher

V2025

'උරුමය' යටතේ මන්නාරම ජනතාවට ඉඩම් ඔප්පු 5,000ක්

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපල වටිනාකම “උරුමය” වැඩසටහන නිසා නැවත ඉහළ ගොස් ඇති බවත් එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවති උත්සවයට එක්වෙමිනි.

මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද දින සංකේතවත්ව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානයද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

පසුගිය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි වගාවන් වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සහ ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

පසු ගිය මාසයේ මා උතුරට පැමිණි අවස්ථාවේදී මන්නාරමට පැමිණෙන බවට පොරොන්දු වුණා. මන්නාරම සංවර්ධනය පිළිබඳ අපට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000ක් පමණ සිටිනවා. එයින් පවුල් 45,000කට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව තිබෙනවා. අනෙකුත් පවුල් 45,000 පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස මම ආණ්ඩුකාරතුමියට හා උතුරු පළාත් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා .

1935 වසරේ සිට මේ දක්වා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ජනකොටසකටම ඉඩම් ලබා දී තිබුනේ බලපත්‍ර වශයෙන් පමණයි. එනිසා මේ බලපත්‍ර ඕනෑම වෙලාවක අහෝසි කළ හැකියි. බලපත්‍ර ඉඩම්වලට සුරක්ෂිතභාවයක් නැහැ. ගොවීන් ගොවිතැන් කටයුතු කළත් ඔවුන්ට ඉඩම් හිමිකම ලැබුණේ නැහැ.

ඇතැම් ගොවි ජනතාව අවුරුදු 85ක් තිස්සේ ඉඩම් භාවිතා කර තිබෙනවා. මේ රටේ ඉඩම් අයිතිය නොමැති පවුල් ලක්ෂ 20ක් පමණ සිටිනවා. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ඔවුන් වෙනුවෙනුයි.

කොවිඩ් වසංගතය නිසා වැඩිපුරම පීඩාවට පත් වුණේ සාමාන්‍ය ජනතාවයි. රට බංකොලොත්භාවයෙන් මිදෙන විට එහි වාසිය ජනතාවට ලබාදිය යුතුයි. විශේෂයෙන්ම, උරුමය වැඩසටහන නිසා යළිත් ජනතාවගේ දේපළවල වත්කම වැඩි වෙනවා. ආසියාවේ කිසිඳු රටක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී නැහැ. ඒ නිසා උරුමය වැඩසටහන රට තුළ සිදු කළ විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි.

මීට අමතරව බස්නාහිර පළාතේ මහල් නිවාසලාභීන් දෙලක්ෂ පනස්දහසකට නිවාස හිමිකම ලබාදීමට ද අප පියවර ගන්නවා. ඒ වගේම ආර්ථික කඩා වැටීම හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරනවා.

එදා උතුරේ ජනතාවට යුද්ධය නිසා නිවාස, දේපළ හා ඉඩම් අත්හැර යාමට සිදුවුණා. එම ජනතාවට ජීවිතයේ පළමු වතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වීමත් සමඟ සාමාන්‍ය ලෙස ජීවත් වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඔබට ලැබෙන මෙම ඉඩම් අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස ද මා සියලුදෙනාගෙන් ඉල්ලනවා. එවිට ආර්ථිකමය වශයෙන් ඉදිරියට යාමට ඔබටත්, රටටත් අවස්ථාව ලැබෙනවා.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්,

ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා මෙහි පැමිණීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඉඩමක නීත්‍යානුකූල අයිතිය ලැබීම සෑම පුරවැසියෙකුගේම සිහිනයක් බව කිවයුතුයි. මෙතැන් සිට එම සිහිනය සැබෑ වෙනවා.

ජනාධිපතිතුමා සියලු සැලසුම් සකස් කරන්නේ පැහැදිළි දැක්මක් ඇතිවයි. මේ රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට හැකි එකම පුද්ගලයා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපතිතුමා දේශපාලන අරමුණු පසෙකලා රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අප එතුමාට කළගුණ සැලකීය යුතුයි. ඒ සඳහා ඔහු නැවත බලයට පත් කිරීමට අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්,

අඳුරු යුගයකට ගමන් කරමින් තිබූ රට බේරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු අනෙකුත් ප්‍රශ්න විසඳීමට කටයුතු කරමින් සිටිනවා. සාකච්ඡා කර ගැටළු විසඳාගත හැකි ජනාධිපතිවරයෙක් අපට ලැබී තිබෙනවා.

මන්නාරම ජනතාවගේ ගැටළු සොයා බැලීමට අද මෙහි පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමාට මගේ කෘතඥතාව පළ කරනවා.

ජනාධිපතිතුමාගේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අවශ්‍යයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් ,

මන්නාරම දිස්ත්‍රික් රෝහල ද සංවර්ධනය කළයුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දීය රජය මඟින් රුපියල් මිලියන 60ක් හිමිවන බවද සඳහන් වෙනවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික් රෝහල ද තවදුරටත් දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.

එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු රැසක් මතුව තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අද ජනාධිපතිතුමා මෙම ප්‍රදේශයට පැමිණීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්,

පසුගිය කාලයේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට නිසි සංවර්ධනයක් නොලැබීම පිළිබඳ දේශපාලන නියෝජිතයන් සහ ජනතාව මැසිවිලි නගමින් සිටියා. A9 මාර්ගයේ පිහිටි අනෙකුත් දිස්ත්‍රික්කවලට මෙන් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක කෙරෙහි සංවර්ධන හවුල්කරුවන්ගේ අවධානයක් ලැබුණේ නැහැ. එබැවින් එම කටයුතු සොයා බැලීමට ජනාධිපතිතුමා අද මෙහි පැමිණිම පිළිබඳ මම එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම උතුරේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට ජනාධිපතිතුමා නිරන්තරයෙන් උතුරට පැමිණෙනවා. එතුමාගේ පැමිණීම පළාතේ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ජනතාවට ද මහත් ශක්තියක් වන අතර එමඟින් ඔවුන්ගේ ගැටලු සෘජුව ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

රජයේ සේවකයන්ගේ වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. ජනාධිපතිතුමා සඳහන් කරන පරිදි ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා. අප සියලුදෙනා එකතුවී මේ ප්‍රදේශයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර දීමට කැපවෙමුයැයි මා ඉල්ලා සිටිනවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.