Language Switcher

V2025

මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253කට සින්නක්කර ඉඩම් අයිතිය !

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සංකේතාත්මකව උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානයට එක් විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය :

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි සියලුදෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්, මිනින්දෝරු කාර්යාලයේ සියලුදෙනා එක්ව ගමට ගොස් මෙම ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගමේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය ලබාගත හැකියි. එවැනි වැඩපිළිවෙළක් තුළින් අපට ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා.

පසුගිය වසර 75ක කාලය තුළ මේ රටේ ජනතාවට ඉඩම් ලබා දී තිබුණද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබුණේ නැහැ. අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළේ ජනතාවට එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීම සඳහායි. මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකියි.

අප රටක් ලෙස ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. සියලුදෙනාම දුක් වින්දා. අලාභය බෙදා ගත්තා. එසේ නම් රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබෙන අවස්ථාවේ එහි ලාභයද සියලුදෙනාට හිමි විය යුතුයි. විශේෂයෙන්ම මෙරටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ද එම ප්‍රතිලාභය අත්කරදීම අපේ අරමුණයි.

ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාස වල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා.

මෙම වැඩපිළිවෙළ හරහා සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. ඉඩමක, නිවසක හෝ වාහනයක අයිතිය මේ රටේ ජනතාවට හිමි විය යුතුයි. 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා. වත්මන් ආණ්ඩුවෙන් දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉහළ වී අස්වැන්නක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ට භූමියේ අයිතිය හිමිව නැහැ. ඔවුන්ට බැංකුවට ගොස් ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. එක් පරම්පරාවක් නොවෙයි පරම්පරා තුනක් මෙම ගැටළුවට මුහුණ දුන්නා. මෙම ජනතාවට තවදුරටත් දුක් විඳිමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එය මේ රටේ ගොවි ජනතාවට ස්තූති කිරීමක් ද වෙනවා.

අප ආණ්ඩුව භාරගන්නා විට රටට විදුලිය තිබුණේ නැහැ, ඉන්ධන, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් වින්දා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට පළමුව සිදු වණේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි. 2022 සහ 2023 යල කන්නයේ අප වී නිෂ්පාදනය වැඩි කළා. ගොවි ජනතාව අපට ඒ සඳහා ශක්තිය ලබා දුන්නා. ඔවුන්ට අවශ්‍ය පොහොර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට රජය කටයුතු කළා.

ගොවි ජනතාව වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ට ඉඩම් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කළ යුතුයි. ඒ සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඉඩම් අයිතිය හිමිවීම සමඟ තම ආදායම් ද ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව හිමි වෙනවා.

ඔබ සියලුදෙනා එම වැඩපිළිවෙළේ හවුල්කරුවන් බවට පත්විය යුතුයි. අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙමින් ලබන වසර වන විට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය වගේම ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව පරම්පාර 03ක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව රටට කළ සේවයට මම මගේ ස්තුතිය පිරිනමනවා.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි :

පරම්පරා ගණනක් තිස්සේ නොලැබුණු ඉඩම් අයිතිය අද ඔබට ලැබී තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව ඔබ සියලු දෙනා මහත් පීඩාවන්ට ලක්වුණා. ජනතාවගේ මූලික අවශ්‍යතා තුන වන ඉඩමක්, නිවසක්, සහ ආහාර ලබාදීමට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබෙනවා.

ඉඩමක සින්නක්කර අයිතිය ලැබීම තුළින් පවුලේ අයට දැනෙන සතුට මිල කරන්න බැහැ. මා මේ කටයුත්ත දකින්නේ ඔබේ පවුල ශක්තිමත් හා සුන්දර කිරීමට ජනාධිපතිතුමා ගත් විප්ලවීය පියවරක් ලෙසයි. සින්නක්කර ඉඩම් අයිතිය නොමැතිව සිටි පවුල් ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු ලබාදීම සමඟ රට තුළ මහා පෙරළියක් සිදු වෙමින් තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කිරීම ජනාධිපතිතුමාගේ තවත් වැඩසටහනක්. නවීන තාක්ෂණ උපකරණ ගොවීන්ට ලබාදීම රජයකට තනිව කරන්න බැහැ. ඒ නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ගොවීන්ට නවීන කෘෂි උපකරණ ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. රටේ පාසල්, රෝහල් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය තුළින් අද රට දියුණු මට්ටමකට පැමිණ තිබෙනවා. අපට තවත් අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ. එනිසා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඔබ සැමගේ සහාය අවශ්‍යයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර :

ඉඩම් ප්‍රශ්න නිසා තාත්තා පුතාව ඝාතනය කරන, අයියා මල්ලිව ඝාතනය කරන කාලයක් මේ රටේ තිබුණා. පොලිසිවලට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් එන්නේ ඉඩම් ප්‍රශ්න සම්බන්ධවයි. මහජන නියෝජිතයන් වශයෙන් අපටත් ඉඩම් ප්‍රශ්න ගැන පැමිණිලි ලැබෙනවා.

අද ඔබට ඉඩමේ අයිතිය සින්නක්කර ඔප්පුවකින් ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කරනු ලැබූ විශාලතම පෞද්ගලිකකරණය මෙයයි. රටේ අක්කර මිලියන ගණනක් ජනතාවට ලබාදීමට එතුමා කටයුතු කරමින් සිටිනවා. මේ රට අගාධයට වැටුණු අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ මේ රට භාරගත් ජනාධිපතිතුමාට සහාය ලබා දෙනවා වෙනුවට ඇතැමුන් චෝදනා එල්ල කරමින් සිටිනවා. උද්ඝෝෂණවල නිරතව සිටි ගොවි ජනතාව යළි ගොවි බිමට යැවීමට කටයුතු කළේ ජනාධිපතිතුමායි. රටින් හාල් ගේනවා වෙනුවට අපේ රටේ සහල් අවශ්‍යතාවය සපුරාලීමට මේ වන විට ගොවි ජනතාව සමත්ව තිබෙනවා.

වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ :

මේ රටේ ඉඩම්වලින් තුනෙන් එකක් පාලනය කරන්නේ මහවැලි අධිකාරියයි. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන උරුමය වැඩසටහන යටතේ මේ වන විට පවුල් විශාල සංඛ්‍යාවකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදී තිබෙනවා.

අගාධයට වැටී තිබූ රටට නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිවැරදි ලෙස රට පාලනය කරමින් සිටිනවා. අද රටේ ජනාධිපති අපේක්ෂකයන් වැහි වැහැලා. සමාජ මාධ්‍ය තුළද අපේක්ෂකයන් ඕන තරම් සිටිනවා. ඔය කවුරු සිටියත් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ වැඩසටහන තවත් අවුරුදු පහක් ඉදිරියට යා යුතුයි. එබැවින් මේ වෙලාවේ අප සියලුදෙනා රට ගැන සිතා වැඩ කළ යුතුයි.

එසේ නොමැති වුවහොත් යළිත් රට අගාධයට ඇද වැටෙනවා.

පළාතේ මහා සංඝරත්නය ද, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, මුදිතා ප්‍රිෂාන්ති, මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කුමාරසිරි රත්නායක, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. සී. එම්. අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ඔප්පුලාභීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.