Language Switcher

V2025

ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉලක්කය සපුරා ගත හැකියි - කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්

මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති  පැවසීය.

මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ මේ වන විටත් ලැබෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු  මෙසේද පැවසීය,

සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩි වන ආහාර අවශ්‍යතාව සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශය සතු වගකීමක් වනවා. එය මේ වන විට සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව කිව යුතුයි. විශේෂයෙන් මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හය තුළ සපුරා ගැනීමට අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා කෘෂි නවීකරණ වැඩසටහන යටතේ අප විසින් තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. තවද පුරන් කුඹුරු ඇතුලු සියලු කුඹුරු වී වගාවට යොදා ගැනීමටත් සෙසු

වගා බිම් වෙනත් වගාවන්ට යෙදවීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට වී වගාවේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් රටට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක අස්වැන්නක් ලබා ගෙන තිබෙන බවද කිව යුතුයි.

වී මිළ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වීමට හැකියාවක් නැහැ. නමුත් විවෘත ආර්ථිකයේදී මිල පවත්වා ‍ගැනීම සාධාරණව සිදු වනු ඇති බව රජය බලාපොරොත්තු වෙනවා. මිල ඉහළ යාම වරක් දෙවරක් සිදු වුනාට රජයට මැදිහත් විය නොහැකි වුනත් එය දිගින් දිගටම සිදු වෙනවා නම් ඊට මැදිහත් විය හැකියි. මේ වන විට සහල් වර්ග දෙකක පමණක් තොග පවත්වා ගෙන ගියත් ඉදිරියේදී සියලුම සහල් වර්ගවල ආරක්ෂිත තොග පවත්වා ගනිමින් වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම වියලි කලාපය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පුරන් කුඹුරු වෙනත් වගාවන්ට වෙන් කර දෙනවා. එය ආහාර නිෂ්පාදනයේ සාධනීය ඉදිරි පියවරක් වනු ඇතියි.

සම්ප්‍රදායික වගා රටාවෙන් බැහැරව ආහාර අවශ්‍යතාව සැපිරීමේ පියවර වශයෙන් කෘෂි නවීකරණ වැඩසටහන සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් තුළ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා පොලී රහිත ණය ලබා දී තිබෙනවා. ඊට සමගාමීව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරෙනවා. එමඟින් කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, සත්ව හා ධීවර කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වී ඇති අතර නව තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් තරුණ ප්‍රජාව මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට දරණ උත්සාහය සාර්ථක වී තිබෙනවා.

මේ වන විට කෘෂි කර්මාන්තය දේශීය සීමාවෙන් ඔබ්බට ගොස් විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් ස්ට්‍රෝබෙරි, අඹ, අන්නාසි වැනි පළතුරු බෝග අපනයනය සඳහා වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා.

මීට අමතරව අස්වැන්නේ උච්ඡාවචනය සහ අස්වනු හානි පිළිබඳ අවධානය යොමු කරමින් දඹුල්ලේ ශීතාගාරයක් ස්ථාපිත කිරීමට ද නියමිතයි. යෝග්‍ය වගාවන් පිළිබඳ ගොවියා දැනුවත් කළත් ඔවුන් ඒ ගැන නොතැකීම නොවන්නට මෙරට අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් සිදු කරනවා. අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරීත්වය හේතුවෙන් අස්වනු හානි 50%කින් පමණ අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ගොවියාගේ සහායද ඇතුව අස්වනු ක්‍රමානුකූලව වෙළෙඳපොලට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අප තව දුරටත් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කිරීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීම පිළිබඳ මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ වන විටත් බෙලිඅත්තේ සිට ධාවනය වන දුම්රිය අනෙක් පළාත් සඳහාද යෙදවීමට අවධානය යොමු වී තිබෙනවා.