Language Switcher

V2025

රිෂාඩ්ගේ මන්ත්‍රීවරුන් සියල්ල : රනිල්ගේ සහායට ඇවිත් කියපු කතා මෙන්න !

සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදියකු බව සඳහන් කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය පළ කරන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැති බවත් මුස්ලිම් ජනතාවද එම තීරණය අනුමත නොකරන බවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් පැවසීය.

පක්ෂ නායකයින් කුමන තීන්දුවක් ගනු ලැබුවද මුස්ලිම් ජනතාවගේ සහාය හිමි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් මේ බව සඳහන් කළේ අද (15) කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
රිසාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රාහුමාන් , දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් යන මහත්වරුන් ‍විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය පළ කරමින් මෙම විශේෂ මාධ්‍ය හමුව පවත්වනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් තිදෙනකුම
මේ ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම විශේෂත්වයකි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිරගතව සිටියදී ද ඔහු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු නොකළ බවත් එහිදී තමන්ට සළකනු ලැබුවේ වෙනත් පක්ෂයක පිරිසක් ලෙස බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් මහතා මෙසේද පැවසීය.

රිෂාඩ් බදියුදීන් මහතා සමඟි ජනබලවේගයට සහාය පළ කරන බව ඊයේ දිනයේදී ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඔහුගේ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනාගෙන් තුන්දෙනකුම අද මෙම මාධ්‍ය හමුව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වනවා.

රිෂාඩ් බදියුදීන් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව සඳහන් කළත් මුස්ලිම් ජනතාවගේ සහාය හිමි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි. අප පක්ෂයේ නායකයා සඳහන් කළේ ඔවුන් ගනු ලැබූ තීන්දුව රට වටා ගොස් ලබාගත් ජනතා අදහස් මත ගනු ලැබූවක් බවයි. නමුත් අප සඳහන් කරන්නේ එවැන්නක් සිදු නොවූ බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජාතිවාදියකු බව කියූ අප පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය පළ කරන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැහැ. මේ මොහොතේ පක්ෂයේ සහාය ලබා දිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව කියන්න තරම් පක්ෂය තුළ බලයක් අද වන විට රිෂාඩ් බදියුදීන් මහතාට නැහැ. මොකද ඔහු මුලින් සඳහන් කර සිටියේ රට ආපසු හැරවීමට ඉඩ දිය නොහැකි බවයි. ඒ වගේම කොන්ද කෙලින් තියා ගෙන තීරණයක් ගන්න පුලුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් රිෂාඩ් බදියුදීන් මහතා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් සඳහන් කළා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාටත් සහාය ලබා දෙන බවට පොරොන්දු වෙලා. රවුෆ් හකීම් මහතා නම් ඔහුගේ තීරණය කෙලින් ප්‍රකාශ කළා. රිෂාඩ් බදියුදීන් මහතා මෙන් ඔහු දෙපැත්ත රැවටුවේ නැහැ.

පසුගියදා රිෂාඩ් බදියුදීන් මහතා පැමිණ පුත්තලමේ පැවැත්වූ රැස්වීමට පුත්තලමේ ජනතාව සහභාගිව හිටියේ නැහැ. ඔවුන් ඒ සඳහා බස්වලින් සෙනඟ ගෙනාවේ වෙනත් ප්‍රදේශවලින්.

අර්බූදයට ගොස් තිබූ රට මේ තත්ත්වයට ගෙන ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාරේ ජනතාව දන්නවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ගැනත් ඔවුන් දන්නවා. රිෂාඩ් බදියුදීන් මහතා සිරගතව සිටි අවධියේ ඔහු පිළිබඳ නිසි සොයා බැලීමක් කිරීමටවත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ නැහැ. අපි ඒ ගැන කතා කළ විට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දැක්වූවේ අපව වෙනත් පක්ෂයක පිරිසක් ලෙස සළකමින්. ඇත්තටම රට හදන නායකයා රනිල් වික්‍රමසිංහ බව දන්නවා වුනත් එතුමාට සහාය දෙන බව කියන්න තරම් කොන්දක් රිෂාඩ් බදියුදීන් මහතා නැහැ. නමුත් අවසන් මොහොතේ ඔහු පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙයිද දන්නෙත් නැහැ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය සභාපති , අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

අප ඊයේ දිනයේදී විශාල රඟපෑමක් දැක්කා. එය ගිරවාට යම්කිසි දෙයක් උගන්වා එය ආපසු කියවා ගැනීමකට සමානයි. ගිරව් මෙන් නැතුව ජාති, ආගම්, කුල භේදයන් නැති කළ හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ත්‍රිකුණාමලයේ ජනතාව රිෂාඩ් බදියුදීන් මහතාට ප්‍රකාශ කළා. අනෙක් දිස්ත්‍රික්කවල ජනතාවට කියා ඔවුන්ට අවශ්‍ය නම කියවා ගත්තා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර අද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ. රට අසීරුතාවයට පත් වූ අවස්ථාවේ මේ රට බාර ගන්න කියූ විට මීටර් 100 දිව්ව නායකයන් බව කිව යුතුයි.
අපි පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ජනතා ඡන්දයෙන් . ඒ නිසා ජනතාව ඉන්නේ කොතැනද කියන්න අපහසුවක් අපට නැහැ. මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ජනතාව තීරණය කර අවසන්.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට රිෂාඩ් බදියුදීන් මහතා මෙවර මොන මොන කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවාද කියා සැකයි. මොකද ඔහු හැමදාමත් තීන්දු තීරණ ගත්තේ පෞද්ගලික මතයට අනුවයි. රට ගැන හිතනවා නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය විය යුතුයි. නමුත් ඔහු එය කරන්නේ නැහැ. එම නිසා බඩගෝස්තරවාදයට ආදරේ කරන අය පසුපස ගොස් මුලා නොවන ලෙස මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය නොකළහොත් තවත් මාස 6කින් බංග්ලාදේශය වැනි රටක් බලා ගත හැකියි. බංග්ලාදේශයක් වැනි ශ්‍රී ලංකාවක් ඇති වීමට ඉඩ නොදෙන ලෙස මා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම 2015 ජනාධිපතිවරණ අවස්ථාවේදී මෙන් රිෂාඩ් බදියුදීන් මහතා මෙන්ම රාවුෆ් හකීම් මහතාද මැතිවරණ ව්‍යාපාරයේ අන්තිම මොහොතේදී මේ වේදිකාවටම නඟින්න ඉඩ තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් :

රිසාඩ් බදියුදීන් මහතා සමඟ අප වසර 10ක් තිස්සේ දේශපාලනය කරනවා. නමුත් එතුමා දේශපාලනයේ නියැලුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් නොවෙයි. ඔහු කටයුතු කරන්නේ පටු දේශපාලන අරමුණු ඇතිවයි.

ඒ වගේම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ කිසිදු සහායක් නැති බවත් කිව යුතුයි. මුළු රටේම මුස්ලිම් ජනතාව ඔහු සමඟ ඉන්න බව පැවසුවත් ඔහු හිතන තරම් ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඔහුට නැහැ. පුත්තලම දිස්ත්‍රික්කයේ බහුතර ජනතාව සිටින්නේ අප සමඟයි.

අප සෑම ජාතියක් හා ආගමක් සමඟම සහයෝගයෙන් කටයුතු කළත් ඔහු එවැන්නකු නොවෙයි.

රිෂාඩ් බද්යුදීන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන්නේ නැති වුවත් අප පක්ෂයේ බහුතරයක් ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ සිටිනවා.

එදා අර්බුදය හමුවේ රට භාර ගැනීමට කිසිවකුත් හිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහට ඒ හමුවේ ජනාධිපති ධූරය ලැබුණේ ස්වභාවධර්මයට අනුවයි. එතුමා රට බේරා දුන්නා. එනිසා අපි සියලු දෙනාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටින බව අපට විශ්වාසයි.