ජනපති - අගමැති ගැටුම නොතිබෙන්න විධායකයේ රඟ බලන්න තිබුණා - ආචාර්ය අතුල සමරකෝන්

ජනපති - අගමැති ගැටුම නොතිබෙන්න විධායකයේ රඟ බලන්න තිබුණා - ආචාර්ය අතුල සමරකෝන්

විධායක ජනාධිපති ධුරය යනු සර්ව අධිකාරී බලයක් බවත් එය ආරම්භයේදීත් ඉන්පසුව ගෙන ආ විවිධ සංශෝධනවලදීත් මේ රටේ ජනතාවගේ නිදහස පිළිබද අයිතීන් සහ ලිබරල් ආර්ථික කි‍්‍රයාමාර්ග යන ඔවුන්ගේ පොරොන්දු මෙන්ම ජනතාවගේ සමාජවාදය පිළිබදව වූ බලාපොරොත්තු උදුරා ගනු ලැබු බව විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුල සමරකෝන් සඳහන් කරයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ වෙනසක ඇරඹුම සංවිධානය විසින් සංවිධානය කර තිබු ‘ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළ යුතු 20’ සම්මන්ත‍්‍රණය අමතමින්ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙම සම්මන්ත‍්‍රණය මැයි 16වැනිදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  විධායක ජනාධිපති බලතල යොදාගෙන  17 වැනි සංශෝධනය අහෝසි කර 18වැනි සංශෝධනය ගෙන ඒමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ජනතාවට තිබූ අවසන් බලාපොරොත්තුවත් නැතිකර දැමු ආකාරය දක්නට ලැබුණු බව සඳහන් කල ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ  2015 ජනවාරි 08 අත්තනෝමතික පාලකයෙකු ගෙදර යවා  පොදු අපේක්ෂකයා ජනතාව විසින් පත්කරනු ලැබුවේ මේ ධුරය අහෝසි කිරීමට බවත් මේ වන කොට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින බලය පිළිබඳ ගැටුම නොවුණා නම්, 19වැනි සංශෝධනය පවතිද්දී පවා ජනාධිපති ධුරයේ අත්තනෝමතික කි‍්‍රයාකාරිත්වය දැකගන්නට තිබු බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුල සමරකෝන්,

2012 නොවැම්බර් 23වැනිදා ‘ඬේලි මිරර්’ පත්තරේ කතුවැකිය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරීම වැදගත් කියල මට හිතුණා. ”විධායක ජනාධිපති ක‍්‍රමය සියලූම අර්බුදයන්ගේ මූලසාධකය” කියල ‘ඬේලි මිරර්’ කතුවරයා ලියනවා. එහි පළමුවැනි පරිච්ජේදය  මම පරිවර්තනය කරලා කියන්නම්. ඔබ දන්නවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18වැනි සංශෝධනය ගෙනැවිත් 17වැනි සංශෝධනය අහෝසි කළා. ඒ ගැනයි මේ ලියල තියෙන්නේ. ”සිවිල් කි‍්‍රයාකාරී කණ්ඩායම්වලට, ජනතාවට මතක් කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පාරට බහින්න වෙලාව හරි. විධායක ජනාධිපති ක‍්‍රමයෙන් දේශපාලනය අපරාධයක් බවට පත් කළා. අපරාධය දේශපාලනයක් බවට පත් කළා. අනෙක් පැත්තෙන් වංචාව, දූෂණය විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ඉහවහා ගියා. ඒ වගේම රාජ්‍ය පාලනයේදී තිබිය යුතු සංවරණය හා තුලනය බිඳී ගියා. මේ ආකාරයෙන් සමස්තයක් ලෙස මේ රට අශිෂ්ටත්වයට ගමන් කළේ 1978දී විධායක ජනාධිපති ධුරය ඇති කිරීමෙන්” කියන එකයි ඬේලි මිරර් කතුවරයා අවධාරණය කළේ. 

අපි දන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට එන කොටත්, මහින්ද රාජපක්ෂ මහත්මයා වාගේම මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා බලයට එනකොටත් ඉදිරිපත් කළ ප‍්‍රධාන දේශපාලන සටන් පාඨය වුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි. 1978න් පස්සෙ වාමාංශික පක්ෂ, මධ්‍ය වාමාංශික ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වගේම සුළු ජාතික පක්ෂ යන සියලූම පක්ෂ ජේ.ආර්. ජයවර්ධනගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපයට එරෙහිව, විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව දිගින් දිගටම අරගල කළා. තවත් පැත්තකින් විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව රචනා වෙලා තියෙන දේශපාලන නිර්මාණ අතිවිශාලයි. මේ විද්වතුන් පමණක් නෙමෙයි විදේශයන්හි විද්වතුන් පවා මේ අත්තනෝමතික පාලන තන්ත‍්‍රය විවේචනය කර තිබෙනවා. ශී‍්‍ර ලංකාව ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයක් බවට නම් කළ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කි‍්‍රයාවට නැංවූයේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය ඉතා විශාල වශයෙන් හකුළා දැමීමයි. මේ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කතිකාව නැවතත් කරළියට ගෙන ඒම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට ස්තුති කළ යුතුයි. 

විධායක ජනාධිපති ධුරය කියන්නේ සර්ව අධිකාරී බලයක්. 1978 පෙබරවාරි මාසෙ 4 වෙනිදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමන් විසින්ම විධායක ජනාධිපති ධුරයට පත් වුණේ මැතිවරණයකින් නෙමෙයි. අගමැති ධුරයේ සිට ජනාධිපති ධුරය දක්වා පියනැඟීමයි කළේ. එදා එතුමා පිළිගැනීමට මහනුවර නගරයේ ඉදි කර තිබූ තොරණේ ප‍්‍රදර්ශනය කොට තිබුණේ මේ රටේ අවසන් මහ රජුගේ ඔටුන්න. මෙයින් එතුමා සංකේතවත් කළේ මේ රටේ එකම පාලකයා, එකම නීතිය තමන් බවයි. ඒ නිසා විධායක ජනාධිපති ධුරය ආරම්භයේදීත් ඉන්පසුව ගෙන ආ විවිධ සංශෝධනවලදීත් මේ රටේ ජනතාවගේ නිදහස පිළිබද අයිතීන් සහ ලිබරල් ආර්ථික කි‍්‍රයාමාර්ග යන ඔවුන්ගේ පොරොන්දු වගේම ජනතාවගේ සමාජවාදය පිළිබදව වූ බලාපොරොත්තු උදුරා ගනු ලැබුවා. 1977 සිට 1989 දක්වා මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ තිබුණේ නැහැ. ජනාධිපති බලතල පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය විදිහට පාර්ලිමේන්තුව නතු කරගෙන, හරියට තුරුලේ නැළවෙන බලූ පැටියෙකු තරමට හීලෑ කරගෙන තිබුණා. පාර්ලිමේන්තුව මුළුමනින්ම නතු කර ගන්න හැකි වුණත් 19වැනි සංශෝධනයෙන් යම් තරමට ව්‍යවස්ථාදායකයේ බලය ජනාධිපතිවරයාගෙන් මුදන්න හැකි වුණා. නමුත් කිසිසේත්ම එය ප‍්‍රමාණවත් නැහැ.  

මේ වෙන කොට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පවතින බලය පිළිබඳ ගැටුම නොවුණා නම්, 19වැනි සංශෝධනය පවතිද්දී පවා ජනාධිපති ධුරයේ අත්තනෝමතික කි‍්‍රයාකාරිත්වය දැකගන්නට තිබුණා. ජනතාවගේ පරමාධිපත්‍ය බලයට අභියෝග කරන්නේ කොහොම ද කියලා බලා ගන්න තිබුණා. ව්‍යවස්ථාදායකයේ ඉන්න මහජන නියෝජිතයන්ගේ පරමාධිපත්‍ය බලය විධායක ජනාධිපති ධුරය යොදලා ජනතාව විසින් පත් කළ පාර්ලිමේන්තුව තුරුලේ සිටින බලූ පැටියෙකුගේ තත්ත්වයට පත් කරන ආකාරය සිදු වුණේ කොහොමද කියලා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අපි දැක්කා. 17 වැනි සංශෝධනය අහෝසි කරලා 18වැනි සංශෝධනය ගෙන ඒමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ජනතාවට තිබූ අවසන් බලාපොරොත්තුවත් නැතිකර දැම්මා. 2015 ජනවාරි 08 අත්තනෝමතික පාලකයෙකු ගෙදර යවලා පොදු අපේක්ෂකයා ජනතාව විසින් පත්කරනු ලැබුවේ මේ ධුරය අහෝසි කිරීමටයි. නමුත්, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර තිබිය යුතු බල තුලනය අපට පේන්නේ නැහැ. මේ ද්වන්ධ අරගලය නිසා අද වෙන කොට මේ රටේ දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ නිසා 2020දී මේ රටේ නැවතත් විධායක ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් අත්තනෝමතික බියකරු පාලකයෙක් පත් වෙයිද කියන බිය ජනතාව තුළ ඇති වී තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සියලූ බලවේග ඒකරාශී කිරීමට දැන් අවස්ථාව එළඹී තිබෙනවා. 

මෛත්‍රී ජනාධිපති විධායකය අහෝසි කරන්න පොරොන්දු වුණා - පූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමි

hamuduruwoරටට ඉතාම වැදගත් වන මාතෘකාවක් සම්බන්ධයෙන් කෙරෙන වැදගත් සාකච්ජාවක් මේක. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය ගෙන එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහායි. මේ වන විට මේ සාකච්ඡුාවට අවුරුදු 40ක කාලයක් ගෙවී තිබෙනවා. මේ ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන අදහස ගෙවී ගිය කාලය පුරාම ජනතාව අතර සාකච්ඡුා වෙනවා. චන්ද්‍රිකා නෝනා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කොට, මහින්ද මහත්තය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කොට, මෛතී‍්‍රපාල මහත්තය ඉදිරිපත් වෙනකොට රටේ ජනතාවට පොරොන්දු වුණේ ”මම බලයට පත් වූ වහාම මේ මහා දුෂ්ට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා” කියලයි. හැබැයි මේ කිසිම ජනාධිපතිවරයෙක් ජනතාවට දුන් අනෙක් පොරොන්දු වගේම මේ පොරොන්දුවත් ඉෂ්ට කළේ නැහැ. ඒ නිසා මේ සාකච්ජාව තාමත් රටේ ප‍්‍රධාන මාතෘකාවක්. පවතින ක‍්‍රමයේ තියෙන දුෂ්ටකම නිසාම, ඊට මහජනතාවගේ තිබෙන විරෝධය නිසාම, මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට මෙයින් සිද්ධ වන බලපෑම නිසාම ඒ සාකච්ජාව ගෙවී ගිය කාලය පුරාම නැවතුණේ නැහැ. දැන් සාකච්ඡුා තීරණාත්මක අවස්ථාවකට එළැඹිලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය ගෙන ඒමට සූදානම් වෙනවා.  

මෙහි සදහන් කර තිබෙන්නේ ”ශිෂ්ටත්වය වෙනුවෙන්” සම්මත කළ යුතුයි කියලා. ජාතික සමගිය,  ආගමික සහජීවනය ඇතුළු බොහෝ දේ වෙනුවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු වෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය නිසා සිද්ධ වුණු යහපත මොකද්ද? ඒ වාගේම සිද්ධ වුණු විනාශයන් මොනවාද? කියල ජනතාව සාකච්ඡුා කරමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ”මාගේ ඇවෑමෙන් පස්සෙ ධර්ම විනය දෙක ශාස්තෘත්වයට පත්වෙනවා” කියලයි. ව්‍යවස්ථා සංග‍්‍රහය විසින් රට පාලනය කරයි. විනය පද්ධතිය විසින් භික්ෂු සමාජය පාලනය කරයි. ඒ නිසා නායකයෙක් අවශ්‍ය කරන්නේ නැහැ. නායකයෙක් පත් කළා නම් බලය විසින්, සම්පත් විසින් ඔහු දූෂණය වන්නේය කියලා වගේම තෘෂ්ණාව සම්බන්ධයෙන් සඳහන් කරමින් උන්මත්තකභාවයට පත් වන්නේය කියල අවධාරණය කොට තිබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගෙන් පස්සෙ ශාසනය පාලනය වීමට අදාළව ධර්ම විනය දෙක සම්මත කළේ. ලිච්ඡුවී පාලන වංශය නමින් සමගිව රැස්වීම, සමගිව සාකච්ජා  කිරීම, සමගිව විසිර යාම කියන ප‍්‍රජාතන්තී‍්‍රය ලක්ෂණයන්ගෙන් යුක්ත ගණතන්ත‍්‍ර පාලන ක‍්‍රමයක් පැවතුණා. නමුත් ඒකාධිපති විධායක පාලන තන්ත‍්‍රයක් විසින් ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් නැති කරන තමන්ගේ මතයට පාලනය කරන තත්ත්වයක් තුළ අනෙක් කිසිදු මතයක් නොතකා හැරලා පාලනය කිරීමේ විපාක අපි දකිනවා. 

විශේෂයෙන්ම විධායකය විසින් අධිකරණයට කරන ලද බලපෑම අපි දැකලා තිබෙනවා. ජනයාට තිබුණ එකම පිහිට, අධිකරණය වුණාට විධායකය විසින් එයත් නැති කර ජනතාව පීඩනයට පත් කළ අවස්ථා කොච්චරවත් අප දැක තිබෙනවා. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍ය කරන්නේ නැද්ද? ශිෂ්ට සමාජයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය කරන්නේ නැද්ද? මේ රටේ ජනයාට සිද්ධ වෙන අකටයුතුකම්, පීඩනයන්, අසාධාරණයන්ට විරුද්ධව එකතු වී සාකච්ඡුා නොකරන්නේ ඇයි? මේ තත්ත්වය පරාජය කිරීමට උනන්දු නොවන්නේ ඇයි ? භික්ෂූන් වහන්සේලා පවා ඉදිරිපත් වෙලා විධායක ක‍්‍රමය ආරක්ෂා කරන්න කතා කරන හැටි අපි දැක්කා. මේකෙන් අදහස් කෙරෙන්නේ විධායක විසින් තමන්ට පෞද්ගලිකව ලබා දෙන ලාභය සඳහා ඉදිරිපත් වන බවයි. තමන්ට ඇති වන ආත්ම ලාභය නිසා විධායකය ගැන ඒ සියලූ සාකච්ඡුා සිද්ධ වෙන බව පැහැදිලිව කියන්න පුළුවන්කම තිබෙනවා. රටටත්, ජනතාවටත් මේ තරම් අසාධාරණයන් සිද්ධ වෙන පාලනයක් අහෝසි කරන්න එක හ`ඩින් ඉදිරිපත් විය යුතු භික්ෂූන් වහන්සේ ඒ සම්බන්ධව සාකච්ඡුා නොකර කවුරුන් වෙනුවෙන් පෙනී සිටිනවාද? ලෝකය ක‍්‍රමයෙන් දියුණු වෙන කොට ශිෂ්ට මනුෂ්‍ය ජාතියක් වෙනුවෙන් කටයුතු කළ යුතු නොවේද? අතීත ශිෂ්ටාචාරය පිළිබඳව සාකච්ඡුා කරන අපි, ජාතික සමගිය පිළිබඳව සාකච්ඡුා කරන අපි, ආගමික සහජීවනය ගැන කතා කරන අපි මනුෂ්‍යත්වයට ගරු කෙරෙන ශිෂ්ට සම්පන්න පාලන ක‍්‍රමයක් වෙනුවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු නැද්ද කියලා අගතියෙන් තොරව කල්පනා කළ යුතුව තිබෙනවා. අදහස් ප‍්‍රකාශ කළ යුතුව තිබෙනවා. 
විධායකය රකින සියළු දෙනා කවර හෝ ජාතිවාදයක් නියෝජනය කරනවා - හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්

20වැනි සංශෝධනය සම්මත කළහොත්, රටට විශාල විනාශයක් සිදු වෙන බවත්, ඒ නිසා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යා යුතු බවත් කියන පිරිස ඉදිරිපත් කරන කරුණු කිහිපයක් ගැන කතා කිරීම සුදුසුයි. ශිෂ්ටත්වය වෙනුවෙන් මෙය අහෝසි කළ යුතු බව අපි කියන කොට එයට විරුද්ධව පෙනී සිටීමෙන් කියන්නේ අශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී සිටින බවයි. අශිෂ්ටත්වයේ අංක එක ජාතිවාදයයි. විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යා යුතුයි කියන සියලූම දෙනා කවර හෝ ජාතිවාදයක් නියෝජනය කරනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය කොල්ලකෑමේ යෙදෙන උදවිය මේ වෙනුවෙන් පක්ෂව පෙනී සිටිනවා. තවත් පහළට ආවොත් උපන් දින දෙකක් තියෙන, ජාතික හැඳුනුම්පත් දෙකක් තියාගෙන ඉන්න තත්වයටම අශිෂ්ටත්වය නියෝජනය කරනවා. මොවුන්ගේ තරාතිරම කුමක් වුවත්, පෙනී සිටින්නේ අශිෂ්ටත්වය වෙනුවෙන්. 

විධායක ජනාධිපති ධුරය පවත්වාගත යුතුයි කියන අය ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු මොනවා ද කියලා පුවත් පත්වලින් හොයලා බැලූවා. නමුත්, එහෙම කරුණු කියලා නැහැ. 20 වෙනි සංශෝධනයේ අඩංගු කරුණු මොනවාද කියලා තවමත් ඉදිරිපත් කර නැහැ. එනමුත්, සංශෝධනයේ අඩංගු කරුණු හැටියට දක්වමින් මහා සංඝරත්නයට කවුරු හරි ඉදිරිපත් කරන දේවල් සම්බන්ධයෙන් වැරැුදි අවබෝධයන් හදමින් ඉන්නවා. ඒ නිසා සැබෑවටම බියක් ඇති වුණු අයත් ඉන්නවා. ඒ අයට ඇත්ත පැහැදිලි කර දීමෙන් ප‍්‍රශ්නය විස\ ගන්න පුළුවන්. හැබැයි අනෙක් උදවිය විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත්, රට අස්ථාවරයි කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ ක‍්‍රමය යටතේ අවුරුදු 40ක් ගිහිල්ලත් රට ස්ථාවරද කියලා කල්පනා කළ යුතු වෙනවා. මම රාජ්‍ය සේවයේ අවුරුදු තිස් ගණනක් හිටියා. අපිට පෙනුණේ එන්න එන්න රට අස්ථාවර වන බවයි. විධායක ජනාධිපතිවරුන් මාරු වෙවී යනවා, රට එන්න එන්න පහළට වැටී අස්ථාවර වෙනවා. එහෙනම් මේක නැති කළොත්, අස්ථාවර වෙනවා කියන්නේ කුමන කරුණු මත ද? ආර්ථික ක්ෂේත‍්‍රයෙන්, සමාජ විද්‍යා ක්ෂේත‍්‍රයෙන් එදා ඉදලම පහළට මිසක් ස්ථාවර පැත්තට යන බවක් තේරුම් ගන්න අපිට නම් කරුණු නැහැ. 

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් තොරව ශී‍්‍ර ලාංකේය ජාතිය බිහි කරන්න බැහැ - ප‍්‍රවීණ සාහිත්‍යවේදී ගුණසේන විතාන

gunasenaඅපේ රටේ එක්තරා ඒකාධිපතියෙක් ගැන අපිට අහන්න ලැබුණා. ඔහු නිතරම කීවේ ”මම වග කියන්නේ මටයි” කියලයි. ඒ ඒකාධිපතියාගේ ආත්මය සියවසකට පස්සේ ලංකාවෙන් බිහිවෙලා ජේ. ආර්. ජයවර්ධන මහත්මයා කීවේ ”ගැහැනියක පිරිමියෙකු කිරීමත්, පිරිමියෙකු ගැහැනියක කිරීමත් හැර අනෙක් හැම දෙයක්ම කරන්න මට පුළුවන්” කියලයි. ඒකාධිපතිවරුන්ගේ උදාන පාඨ තමයි මේවා. අද අපි හඬනඟන්නේ මේ ඒකාධිපති ස්වභාවයෙන් බැහැර වුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනඟන්නේ කොහොමද කියලයි. අපේ රට තුළ නිදහස ලැබීමට ඉස්සෙල්ලත්, ඉන් පස්සෙත් විශාල වශයෙන් අරගල පැනනැඟුණා. නිදහස ලැබීමට පෙර නීතිමය නොවූ සමාජ සංස්ථාවක සහෝදරත්වය තිබුණා. නිදහස් අධ්‍යාපනය ගෙන ඒමෙන් කන්නංගර වාර්තාවට කරුණු එකතු කරන අවස්ථාවේ යාපනය බුද්ධිමතුන් ඇවිත් කීවේ ”යාපනයට ඉන්දියාවෙන් එන දෙමළ නවත්වන්න” කියලයි. 

නමුත් ඒ වැදගත් යෝජනාව කි‍්‍රයාත්මක වුණේ නැහැ. මේ වගේ ගත්තහම අප‍්‍රමාණ කාලයක් තුළ නිදහස වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් තිබිලා තිබෙනවා. නිදහස් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න තිබෙන වුවමනාව රැුක ගන්න, අත්පත් කර ගන්න අරගලයක් තිබිලා තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියල එදා අරගල කළ මිනිස්සු අද අහෝසි කරන්න එපා කියලා වේදිකාවක් හදාගෙන තිබෙනවා. ලේඛකයෙක් වශයෙන් මට පැහැදිලිව පෙනෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් තොරව ශී‍්‍ර ලාංකේය ජාතිය බිහි කරන්න බැරි බවයි. මේ රටේ ඉපදෙන හැම කෙනෙකුම සිංහල. මුස්ලිම්, දෙමළ භේදයකින් තොරව ශී‍්‍ර ලාංකිකයෙක් වෙන්න  ඕනෑ. යාපනයේ සිටි බුද්ධිමතෙක් වන කාර්තිකේතු ශිවතම්බි කිව්වේ ”මම දෙමළෙක් නමුත් ලාංකිකයෙක්” කියලයි. ජාතික සමගියක් තිබෙනවා නම් කවදාවත් මේ රටේ විධායකයක් හැදෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් බිහි වෙන්නේ නැහැ. ජාතික සමගිය වෙනුවෙන් තමයි අපේ රටේ හුගක් බුද්ධිමතුන් ජීවිත පරිත්‍යාග කළේ.

විධායකයේ අනිසි බල ඉවත් කලයුතුයි - නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්

jefriඅවුරුදු හතළිහකට ඉස්සර විධායක ජනාධිපති ධුරය පටන් ගත්තේ මොන අරමුණකින්ද කියල බලන එක වැදගත්. ආර්ථිකය දියුණු කරන්න ජාති, ආගම් භේද දුරු කරන්න පටන් ගත් බවයි කියල තියෙන්නේ. කෙසේ වෙතත්, පත් වුණු සියලූම දෙනා අර අදහස අතහැරලා ඒගොල්ලන්ගෙ ඥාතීන්,  මිත‍්‍රයන් එකතු කරලා බලය වර්ධනය කර ගැනීමෙන් දුෂ්ට තත්ත්වයට පත්වුණු බවයි කියන්නේ. මේ නිසා අපි විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුද? නැත්නම් ඒකේ බලතල අඩු කර යම් කිසි පාලනයකට යටත් කර තියා ගත යුතුද යන්න සලකා බැලීම අවශ්‍ය බවයි මගේ යෝජනාව. ව්‍යවස්ථාදායකයට පත් කර ඉන්න අය ගැනත් අපි බලන්න  ඕන. උදාහරණයක් විදිහට 18වැනි ව්‍යවස්ථා සංශෝධනය පේ‍්‍රමදාස මහත්තය ගෙන ආවා නම් ලලිත්, ගාමිණි දෙන්නා ඒකට පක්ෂ වෙනවාද?

නමුත් හිටපු ජනාධිපතිවරයා මේ සංශෝධනය ගෙන එන කොට විරුද්ධ වුණේ කී දෙනාද? දැන් ඉන්න මන්තී‍්‍රවරු ඉස්සර හිටි මන්තී‍්‍රවරුන් වගේ නෙමෙයි. මේ අයව පත් කරන්නෙත් ජනතාවයි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවෙ ගාමිණි ජයසූරිය මහත්තය විරෝධය පාල ඉල්ලා අස්වුණා. අද ඒ වගේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට පත් කර තියෙනවද? පනින්න කියල දැන් ඉන්න අයට ජනාධිපතිවරයා කිව්වොත්, ”කොච්චර උසකින් පනින්න  ඕනෑද” කියලත් අහයි. ඉස්සර සිටි අය එහෙම නෙමෙයි. ”ඇයි අපි මොනවාටද පනින්න  ඕනෑ” කියල අහයි. ඒක තමයි එදා සහ අද අතර වෙනස. 

පාර්ලිමේන්තු බලයට යටත් කර විධායක ජනාධිපති ධුරය කි‍්‍රයාත්මක කළොත්, අනිසි බලය යෙදවීමකට බැරි වෙනවා. ඒ වගේ සංශෝධනයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගේන්න  ඕන කියන එකයි මගේ අදහස. නමුත් අගමැතිවරයාගේ බලතල විධායක මට්ටමට තිබුණු 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් කරපු විනාශකාරී තත්ත්වයන් ගැනත් අපි දන්නවා. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුනුත් බලන්නේ ඔවුන්ගේ ඥාතීන්, මිත‍්‍රයන් ගැන. අවුරුදු පහකට පස්සේ විශ‍්‍රාම වැටුප් ලැබෙන එක ගැන. මේ වගේ කරුණු නිසා විධායක බලය පාර්ලිමේන්තුවට දිය යුතුද නැතිනම් ජනාධිපති ධුරයේ අනිසි බලතල සීමා කර යම්කිසි බල තුලනයකින් රට ගෙනියන්න පුළුවන්ද කියලයි අපි බලන්න  ඕනෑ. නීතිඥවරයෙක් හැටියට මගේ යෝජනාව නම් විධායක බලය සහ පාර්ලිමේන්තු බලය පාලනය කිරීමට යම්කිසි අධිකරණයක් පිහිටුවන්න පුළුවන් බවයි. ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණය’ කියල සාකච්ජාවක්  දැනටමත් තිබෙනවා. දකුණු අපි‍්‍රකාවේ මේ වගේ අධිකරණයක් තිබුණා. විධායක ජනාධිපතිට විරුද්ධවත් තීරණ ගන්න බලයක් ඒ අධිකරණයට තියෙනවා. පාර්ලිමේන්තුවේදී වැරැදි සිදු කළොත්, ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවත් තිබෙනවා. බලතල බෙදීමක් අපේ ව්‍යවස්ථාවෙත් තිබෙන බව පිළිඅරගෙන තිබෙන නිසා රට ඉදිරියට ගෙන යාමට දැන් තිබෙන ජනාධිපති ධුරය දුෂ්ට බව පිළිගන්නවා. නමුත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයකට යටත් විධායකය සහ ව්‍යවස්ථායකය වැදගත් කියලයි මගේ අදහස. 

විධායක බලය කියන්නේ කැත මජර බලයක් - ජනතා  විමුක්ති පෙරමුණේ  නායක අනුර දිසානායක

anuraඅපි මේ ගෙන එන්නේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධනයක්. මේ රටේ සියලූ ජනතාව යටත්වන මූලික නීතිය පිළිබඳ මේ සංශෝධනයට විවිධ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙන බව අපි පිළිගන්නවා. ඒ නිසා අපි මෙය සංවාදයට භාජනය විය යුතුයි කියන එකත් පිළිගන්න දේශපාලන ව්‍යාපාරයක්. නමුත් අපි ඒ සංවාදයේදී ව්‍යවස්ථාව මත, ව්‍යවස්ථාවේ පැනනඟින කරුණු මත, ඉදිරියේදී විය හැකි බලය පිළිබඳ ස්වභාවයන් මත කෙරෙන සාකච්ඡාවකට   අපි විරුද්ධ නැහැ. හැබැයි මීට අදාළ නැති බලහත්කාරී ත‍්‍රාඩ කඳවුරක් එක්ක මේ ගැන සංවාදයක් නැති බවත් අපි පිළිගන්නවා. මොකද ඔවුන් සංවාදයෙන්, සාකච්ජාවෙන් , තර්කනයෙන් තේරුම් ගන්නවා වෙනුවට දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී සිටින්නන් නිසා. අපේ රටේ අද තිබෙන දේශපාලන සංස්කෘතිය තුළ ජනාධිපතිවරයා සතුව තිබෙන බලය මන්තී‍්‍රවරුන් විකිණෙන පාර්ලිමේන්තුවකට ලබා දිය යුතු ද කියන ප‍්‍රශ්නය නීතීඥ සංගමයේ හිටපු සභාපතිතුමා මතු කළා. ඇත්තටම ඒ ගැන විවාදයක් අපිට තිබෙනවා. ඒ විවාදයට ව්‍යවස්ථාව ඇතුළේ විසඳුම් තිබෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ විවාදයට විසඳුම් තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය මහා පරිවර්තනයකට ලක් කිරීමෙන් පමණයි.

අපි හිතන්නේ ඉන්නේ ව්‍යවස්ථාව ඇතුළේ යම් ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිසංස්කරණයන් ප‍්‍රමාණයක් අපේ රටේ ඉදිරි ගමනට අදාළව අත්පත් කර ගන්න පුළුවන් නම් එය ප‍්‍රගතිගාමී පියවරක් කියලයි. අපේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන් සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ පමණින් විසඳුම් ලැබෙනවාය කියන මිථ්‍යාවකත් අපි නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට ගනු ලබන ඉදිරිගාමී පියවරයන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් අපි. ඒ නිසා විසි වැනි සංශෝධනය ප‍්‍රජාතාන්ති‍්‍රක ආයතනයන් ශක්තිමත් කිරීමේ දිශාවට යොදා ගත හැකි බව අපි දකිනවා. තනි අධිකාරිත්වයක් සතුව තිබෙන මේ අසීමිත බලය යම් සභාවන් වෙත පැවරිය යුතුව තිබෙනවා. කැබිනට් මණ්ඩලය සංවාද තුළින් තීරණ ගන්නවා යැයි මතයක් තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ විශාල සංවාදයන්ගෙන් තීරණ ගන්නවා යැයි මතයක් තිබෙනවා. දෙපැත්තේ තර්ක විතර්කවලට ඉතා හොඳින් ඇහුම්කන් දෙමින් තීරණ ගන්නවා යැයි සිතන අධිකරණයක් තිබෙනවා. එයින් යුක්තිය පසිඳලනවා යැයි කියල උපකල්පනයක් තිබෙනවා. මේවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ශිෂ්ටත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් පිහිටුවා තියෙන ආයතන. නමුත් මේ විධායක ජනාධිපති ධුරය විසින් මේ සියලූ ආයතන සතු බලය ශූන්‍ය බවට පත් කර තිබෙනවා.  කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය කියන පද්ධති බලශූන්‍ය ආයතන බවට පත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශවල වැදගත්ම කොටස් විධායක බලය පාවිච්චි කරලා තමන් යටතට ගත්තා. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය සතු ටීආර්සී එක, ඉඩම් අමාත්‍යංශයේ ඉඩම් වැඩිපුරම තියෙන එල්ආර්සී එක, පරිසර අමාත්‍යංශයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී වැදගත් විෂයන් ගණනාවක් පවරගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ. මොකද ඒ ආයතනවල තමයි වැඩිපුර මුදල් ගනුදෙණු සිදුවුණේ. ඊට අමතරව වැදගත්ම අමාත්‍යංශ තිබුණේ පවුල අතේ. වරාය ගුවන්තොටුපළ චමල් අතේ. මාර්ග සංවර්ධන මහින්ද අතේ. මේ විධායක බලය පාර්ලිමේන්තුව බල රහිත කරලා. ජේආර් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හිස් කොලවලට අත්සන් ගත්තා ඉල්ලා අස්වීමේ ලිපි විදියට. ජනපති සහ මන්ත‍්‍රීවරුන් අතර විශාල පරතරයක් තිබෙනවා. පෞරුෂයක් ඇති මන්ත‍්‍රීවරුන් බිහිවෙන්නේ නැහැ. රාජපක්ෂ 18 සම්මත කර ගත්තේ එහෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන්.

විශේෂයෙන්ම අපි දැක්කා ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය නෙරපා හැරීමේ කි‍්‍රයාවලිය දියත් කළ ආකාරය. සාමාන්‍යයෙන් අධිකරණයේ ගරුත්වය වෙනුවෙන් නීතීඥ මහත්වරුන් පෙනී සිටිනවා. පාර්ලිමේන්තුවේත් මන්තී‍්‍රවරුන් ලෙස නීතීඥවරුන් ගණනාවක් සිටිනවා. හැබැයි ශිරානි බණ්ඩාරනායක මහත්මිය නෙරපා හැරීමේදී ආණ්ඩු පක්ෂයේ හිටපු එක නීතීඥ මන්තී‍්‍රවරයෙක් විරුද්ධව අත එසෙව්වාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍ර විනිශ්චයකාරවරිය නෙරපා හැරීම කියන්නේ ක්ෂේත‍්‍රයට එල්ල කළ කුළුගෙඩි පහරක්. නමුත්, ඊට විරුද්ධව අත ඔසවන්න බැරි විධායකය විසින් පාර්ලිමේන්තුව පොඩිපට්ටම් කර තිබීමයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න  ඕනෑ නැද්ද? 

මහනුවර හිටපු එක්සත් ජාතික පක්ෂයේ කේශර සේනානායකට විරුද්ධව අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් පැවැත්වූවා. ඔහු ආරක්ෂාව පතා මහින්ද රාජපක්ෂගේ විධායක ජනාධිපති ධුරයේ සෙවනට ගියා. අවුරුදු දෙක හමාරක් නඩු අහලා අවුරුදු දෙකක සිරදඩුවම් නියම වුණා. හැබැයි විධායක බලයේ සමාව දීමෙන් විත්ති කූඩුවෙන් බැහැලා ජීප් එකේ නැඟලා ගෙදර ගියා. මිනීමරුවන්ට ස්ත‍්‍රී දූෂකයින්ට සමාව දෙනවා. මේ විධායක බලය කියන්නේ කැත මජර බලයක්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ජේදයේ 1 (ආ) යටතේ මෙහෙම තියෙනවා. ”නියම කරන ලද යම් දඬුවමක් කි‍්‍රයාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් ගැනීමට බලය තියෙනවා” ආදායම් බදු සම්බන්ධ නඩුවක දී අධිකරණයේ තීන්දුව වුණේ නියම කරන ලද මුදල ගෙවන ලෙසයි. නමුත් ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට එරෙහිව ලබා දුන් තීන්දුව ”ආදායම් බදු ගෙවිය යුතු නැත” කියලයි. අධිකරණයේ තීන්දුව වුණේ යම් කාල සීමාවක් ඇතුළත ආදායම් බදු ගෙවන්න කියලයි. ඒක දඬුවමක් නෙමෙයි. එහෙම තියෙද්දි චන්ද්‍රිකා මැතිනිය සමාව දුන්නා ආදායම් බදු ගෙවන්න  ඕන නැහැ කියලා. ඉතින් මේ විධායකය යටතේ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණ පද්ධතිය වැඩක් තියෙනවා ද? විධායක බලය හමුවේ මේ පද්ධති මුළුමනින්ම සුනුවිසුණු කොට යටත් කර තියෙන්නේ. මේ කැත මජර බලය අහෝසි කළ යුතු නැද්ද? 
මන්ත‍්‍රීවරුන්ට වසර පහක් ගියාම විශ‍්‍රාම වැටුපක් ලැබෙනවා. නමුත් ජනාධිපතිවරයා එක දවසක් තනතුරේ හිටියොත් සියලූ වරප‍්‍රසාද සහිතව විශ‍්‍රාම වැටුප, නිල නිවාස, ආරක්ෂක නිලධාරීන් සියල්ල ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි විශ‍්‍රාම වැටුප් දෙකක් ගැනීමටත් ව්‍යවස්ථාවෙන් අවස්ථාව හදලා තියෙනවා. ඒ වගේම මන්ත‍්‍රීවරුන්ට වාහන පර්මිට් එකක් ලැබෙන හැම අවස්ථාවකම ජනාධිපතිවරයාට පර්මිට් එකක් ගන්න අයිතිය හදලා දීලා තියෙනවා. මෛත‍්‍රීත් ගත්තා. මන්ත‍්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන හැම අවස්ථාවකම මහින්ද රාජපක්ෂත් එකක් ගත්තා. ඒ වගේම පාර්ලිමේන්තුවට බලය තිබෙනවා ජනාධිපතිවරයාගේ දීමනා වැඩි කරන්න. නමුත් අඩු කරන්න බැහැ. දීමනාවක් ගන්න  ඕන නම් ඒක ගන්න එක වෙනම කාරණයක්. නමුත් මේවා ව්‍යවස්ථාවට ඇතුල් කරලා. ඒකයි අපි කියන්නේ මේක කැත මජර බලයක් කියලා. මේ බලය අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට පැවරිය යුතුයි. එය තමයි යුක්තිසහගත වන්නේ.

ගණ, ගෝත‍්‍ර ලෙස අපේ සමාජය කාලයත් පැවතුණා. ගෝත‍්‍රයේ නායකයා තමයි රැහේ සියලූ තීරණ ගත්තේ. නමුත්  සමාජ අරගලය නිසා සාමූහික තීන්දු-තීරණ ගන්න තත්වයට පත්වුණා. නමුත් නැවත විධායක ජනාධිපතිධුරය ස්ථාපිත කිරීම අශිෂ්ටත්වයට යාමක්. එනිසා 20වැනි සංශෝධනය යනු ශිෂ්ටත්වය වෙනුවෙන් කෙරෙන අරගලයක්. 20ට එරෙහි වීම අශිෂ්ටත්වයයි. 20ට එරෙහිව පෙනී ඉන්න අය කවුද කියලා බැලූවාම ඒක හොඳට පේනවා. පසුගියදා නායක හාමුරුවන් වහන්සේලා කරුණු 16ක් රටට ඉදිරිපත් කළා. ඒ කරුණුවලින් විශාල ප‍්‍රමාණයක් 20වැනි සංශෝධනය සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. ඇතැම් ඒවා උන් වහන්සේලාගේ හිතේ තිබෙන සංකල්පයන් පමණක් බව ගෞරවයෙන් මතක් කර දෙන්න  ඕනෑ. 20වැනි සංශෝධනයට එරෙහිව පෙනී ඉන්න දේශපාලන කඳවුරට වන්දනා මාන කරන්න කුමන හෝ සුරුවමක්  ඕනෑ. එනිසා ඔවුන්ට ජනාධිපතිවරයෙක් ලෙස තනි පුද්ගලයෙක්  ඕනෑ. ඔවුන් නිවට නියාලූ ලෙස වැඳවැටෙන්න කැමතියි. එනිසා ජනාධිපති ක‍්‍රමය රැුකගන්න  ඔවුන් උත්සාහ කරනවා. ඒ අයට ජනාධිපතිවරයෙක් පත්කරගැනීම වෙනුවෙන් දේශපාලන න්‍යාය පත‍්‍රයක් තිබෙනවා. අපි 20 සංශෝධනය දැම්මාම ඒක සම්පූර්ණයෙන්ම අවුල් වුණා. ඒ නිසා දැන් ඔවුන් කලබල වෙලා තිබෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට කරන්න තිබුණේ ඉදිරිපත් වී නොමැති 20වැනි සංශෝධනය ගැන කථා කරනවාට වඩා ඒ සම්බන්ධයෙන් අපි සමඟ සාකච්ඡුාවක් කරන එකයි. ඒ සඳහා අපි අදටත් සූදානමින් ඉන්නවා. 

මේ අය ගේන එක තර්කයක් තමයි 20 සම්මත වුණොත් 13 අනුව  බලය බෙදනවා කියන එක. ඒක පට්ට පල් බොරුවක්. අපි ඔවුන්ට අභියෝග කරනවා පුළුවන්නම් බලය බෙදන හැටි කියන්න කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ ඇතුළු සියලූ දෙනා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න එකඟ වුණු හැම අවස්ථාවකදීම 13ත් තිබුණා. අද මරාගෙන මැරෙන්න හදන කවුරුවත් එදා විරුද්ධ වුණේ නැහැ. ඒ නිසා මේ කරන්නේ බොරුවක්. ඒ වගේම ඒ වෙලාවේ යුද්ධයක් තිබුණා. යුද්ධය අවසන් කරන්න ජනාධිපති ක‍්‍රමය වැදගත් වුණා කියලා සමහරු කියනවා. ඇත්ත ඒක නෙවෙයි. ඇත්තටම සිදුවුණේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසා යුද්ධය ආරම්භ වීමත් තීව‍්‍ර වීමත් පමණයි. යාපනය පුස්තකාලය ගිනි තැබුවේ, 83 කළු ජූලිය නිර්මාණය කළේ විධායක ජනාධීපතිධුරයේ ආනුභාවයෙන්. යුද්ධය කළේ, ප‍්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරන්න අවස්ථාව හැදුවේ ජේ.ආර්. ජයවර්ධන විධායක බලයෙන් සිදුකළ කි‍්‍රයාමාර්ග නිසා. ඒ විතරක් නෙවෙයි, පේ‍්‍රමදාස ජනාධිපතිවරයා කොටි සංවිධානයට සල්ලි, අවි ආයුද දුන්නා. මහින්ද  රාජපක්‍ෂ කොටි සංවිධානයට සල්ලි දුන්නා. විධායක ජනාධිපති බලයෙන් යුද්ධය වර්ධනය කළා. යුද්ධය දිනුවේ විධායක ජනාධිපති කියලා කව්රු හරි කියනවා නම් ඒක බොරුවක්. මොකද, ජනපතිවරු 5 දෙනෙක් යටතේ මේ යුද්ධය ඉවර වුණේ නැහැ. 

ඊට අමතරව ඇතැම් හාමුදුරුවන් වහන්සේලා කියනවා 20 ගේන්න කලින් අලූත් ජනවරමක් ගන්න  ඕනෑ කියලා. නමුත් අපි උන් වහන්සේලාට ගෞරවයෙන් මතක් කරන්න කැමතියි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න 1999, 2005, 2010, 2015 යන අවස්ථාවල ජනවරමක් ලැබී තිබෙනවා. එනිසා නැවත ජනවරමක්  ඕන නැහැ.  තව සමහරු කියනවා, මේක යූ.ඇන්.පී. වුවමනාවක් කියලා. නමුත් ඒක අසත්‍යයක්. 20 සම්මත වීමෙන් පසුව කි‍්‍රයාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පසුවයි. අපි යෝජනා කරනවා කි‍්‍රයාත්මක වන දවසක පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. එතකොට අලූත් පාර්ලිමේන්තුවක්, අලූත් ජනාධිපතිවරයෙක් රටට ලැබෙනවා, රනිල්ට අමතර බලයක් ලැබෙනවා කියන එක බොරුවක්.

තවත් සමහරු කියනවා, අපි මේක ගේන්න ගෝඨාට භය නිසා කියලා. ජේ.වී.පී.එක බය වෙන්නේ ඇයි? ගෝඨා අපේ රටේ සමාජවාදය හදනවා නම් අපි බයයි. අලූත් මුහුණු ආවා කියලා අපේ රට හදන්න බැහැ. හැමදාම මේ පක්‍ෂ දෙකේ අලූත් මුහුණු ආවා. ජේ.ආර්, අවුරුදු 12ක් කරලා ගියා. පේ‍්‍රමදාස ඇවිත් රට විනාශ කරලා ගියා. චන්ද්‍රිකා ආවා, පරණ එන්ජිමම තමයි. මහින්ද ඇවිත් අවුරුදු 10ක් ඉඳලා රට විනාශ කරලා ගියා. යහ පාලනය කියලා රනිල් ආවා. දැන් මොකද වෙලා තිබෙන්නේ? ඊළඟ ගෝඨා මොකක් හරි කියාගෙන එයි. මේ රටට මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. එනිසා අපි පුද්ගල චරිතවලට රට හදන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ.     

 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හොඳම අවස්ථාව පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන මේ සංයුතිය කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපි හැමෝටම මේ ඒකාධිපති බලයට විරුද්ධව ශිෂ්ටත්වය පිළිබඳ අරගලයක් තිබෙනවා. ඒ අරගලය ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් අපි හැමදෙනාම අපේ කාර්යභාරය ඉටු කරමු කියලා ආරාධනා කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අලූත් සාකච්ඡුාවක්  ඕනෑ. අපේ ජීවිත, අපේ රට, අපේ පරිසරය, මේ සියල්ල තනි පුද්ගලයෙකු යටතට පත් කරන්න  ඕනෑද? එනිසා අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ට සම්පන්න පාලනයක් තහවු කරන්න  ඕනෑ. අද අශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් ජනමතය වෙනස් කරන්න හදනවා. 20ට එරෙහි සටන් පාඨය නියෝජනය කරන්නේ ජාතිවාදීන්. ජාතිවාදය කියන්නේ ගෝත‍්‍රවාදයක්. එනිසා අපිට ශිෂ්ටත්වය පිළිබඳව, මනුෂ්‍යත්වය පිළිබඳව අරගලයක් තිබෙනවා. ඒ වෙනුවෙන් සියලූ දෙනාට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න