Language Switcher

V2025

රාජ්‍ය සේවක ප්‍රජාව රටේ අනාගතය ගැන සිතා ජන්දය ලබාදිය යුතුයි !

මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කළ කටයුත්තක් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය ලැබූ සෑම අවස්ථාවකදීම රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනගිය බව සිහිපත් කළ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ 2024 ජනාධිපතිවරණය කුලයට හෝ ආගම්වාදයකට නායකයෙක් සොයන මැතිවරණයක් නොව, මේ රටට ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර දී ලෝකයේ බලගතු රටක් බිහිකරන නායකත්වය තෝරාගන්නා මැතිවරණයක් වන බැවින් රාජ්‍ය සේවක සැම තම අනාගතය ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතුව ඇති බවයි .

‘උරුමය’ සහ ‘අස්වැසුම’ ද මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මිස විවිධ දේශපාලනඥයින් පවසන පරිදි ජන්දය අපේක්ෂාවෙන් ක්‍රියාවට නඟනු ලැබූ වැඩසටහන් නොවන බව පැවසූ වජිර අබේවර්ධන, මේ සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මේ රටේ ආර්ථිකය හැසිරවීමෙන් ජනතාව ලබන ප්‍රතිලාභ බව පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන  මේ බව සඳහන් කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පැවසීය

මෙරට රාජ්‍ය සේවකයන් ලක්‍ෂ පහළොවක් පමණ සිටින අතර සහ විශ්‍රාමිකයන් ලක්ෂ පහක් පමණ ඉන්නවා. ඊට අමතරව පුද්ගලික අංශයේ ඊ.ටී.එෆ් ලබන ලක්ෂ හැට පහකට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේ කණ්ඩායම් දෙකේම එකතුව ලක්ෂ අසූපහක් වෙනවා. මේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩිකර ගැනීමට සිටින පිරිස වශයෙන් මේ කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාවට අනුව වයස අවුරුදු 18 ට වැඩි එක්කෝටි හැත්ත එක් ලක්ෂයක් මෙවර ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. මෙරට නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සිටින්නේ මේ පිරිසයි. මෙහි තිබෙන අසමානතාවයන් වෙනස් නොකර අප බලාපෙරොත්තු වන ආර්ථික සංවර්ධන වේගය ළඟා කර ගැනීමය හැකියාවක් නැහැ.

රටේ පැවැත්වෙන මැතිවරණයක් හේතුවෙන් මේ රට තවත් මාස කීපයක් ආපස්සට යාම සිදු විය ‍නොහැකියි. මේ රට නොනැවතී වේගයෙන් ඉදිරියට යා යුතුව තිබෙනවා. කෙසේ වුවත් පසුගිය සමයේ රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත රට වැසියා මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වන්නේ රට බංකොලොත්භාවයට පත්වීමයි.

ඉතිහාසය දෙස හැරී බැලුවොත් 2000 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවතුණා. රට බංකොලොත් වීම නිසා එම වර්ෂයේ දී එම රජය කඩාගෙන වැටෙනවා. 2001 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී නැවත නව රජයක් පිහිටුවනවා. එසේ පත් වූ රජයටද රට ගෙනයාමට නොහැකි වෙනවා . ඒ අවස්ථාවේදීත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස රටේ වගකීම භාරගත්තා. රටේ මූල්‍ය පාලනය පවත්වා ගැනීමට හැකි නොවුණොත් , රටේ ආර්ථිකය අනාගතයේදී ද පාලනය කර ගත නොහැකි වන බව පෙන්වා දෙමින් ඒ අවස්ථාවේ දී ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහන හඳුන්වා දුන්නා. 2001 වසරේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ නව වැඩසටහන ඉදිරිපත් කරන්නේ මෙරට ආර්ථික වර්ධන වේගය කඩාගෙන වැටෙන බවත් ණය ගෙවා ගැනීමට නොහැකි වන බවත් සඳහන් කරමින් බව සිහිපත් කළ යුතුයි . නමුත් ජනතාව එය ප්‍රතික්ෂේප කළා. ජාතිවාදය ආගම්වාදය කුලවාදය පතුරවා එදා රට වෙනත් මානයකට ගෙන ගියා .

කෙසේ වෙතත් රට වැටුණු තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ණය ගෙවීමට ක්‍රමවේදයක් අවශ්‍යයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ  2022 මැයි 12 වැනිදා අග්‍රාමාත්‍යධූරය භාරගෙන එතුමා පාර්ලිමේන්තුවේ දී කතාවක් පවත්වමින් පැවසුවේ, තනි මන්ත්‍රීවරයෙක් වන තමන්ට සියළු දෙනාගේ සහයෝගය දෙනවා නම් ගැටළුව විසඳීමට හැකියාව ඇති බවයි .

ඒ අනුව එතුමා නව නීති රීති නව අණ පනත් සියයකට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට කටයුතු කළා. ඒවගේම එතුමා යෝජනා කළා, "අපි බෙදී සිටියා ඇති, අපේ වෙනස්කම් ඒ අයුරින්ම තබා ගනිමින්, සංස්කෘතින් ඒ අයුරින්ම තබා ගනිමින් ජාතික වශයෙන් එකමුතුව ක්‍රියා කරමු" කියලා. ඒ අනුව තමයි ජාතික සභා කීපයක් පිහිටුවන්නේ. ඒ පිහිටුවන ජාතික සභා කීපයට සමගාමීව ණය පියවන ආකාරය පිළිබඳව නීතියෙන් පොරොන්දු වෙනවා. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණය කරගන්නේ කෙසේද කියා පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කර ගන්නවා. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැදිහත්ව මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත ද සම්මත කරගන්නවා. අපේ රටේ දේශපාලනය සඳහා දෙස් විදෙස් මුදල් ප්‍රවාහ බලපෑම් කිරීම සම්බන්ධව විමසිල්ලෙන් සිටීම ලංකාවේ ආරක්ෂාවට ඉතා වැදගත් බව මෙහිදී තේරුම් ගත යුතුව තිබෙනවා .

ඒ වගේම එතුමා තව පනත් කිහිපයක් සම්මත කරගන්නවා. ඒ අතරින් ආර්ථික පරිවර්තන පනත විශේෂයි. එහි සඳහන් වෙන්නේ මින් ඉදිරියට රට බංකොලොත් නොවන ලෙස ආර්ථිකය හසුරුවන ආකාරයයි. ඒ අනුව 5%ක ආර්ථික වර්ධන වේගයක් තබා ගත යුතුයි. 2027 වර්ෂය වන විට 5%ක ආර්ථික වර්ධන වේගයක් ලඟා කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආර්ථික උපාය මාර්ග හඳුන්වාදීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ආර්ථික පරිවර්තන පනත හරහා ඉදිරිපත් කරනවා. මේ ආර්ථික පරිවර්තන පනත සකස් කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට, ජයිකා , ඉන්දියාවට සහ චීනයට අප විසින් ණය ගෙවීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙල ආවරණය වන ආකාරයටයි. .

එදා 2001 වසරේ ඉදිරිපත් කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ආර්ථික වර්ධන වේගයක් සඳහා රාජ්‍ය සේවකයන්ගේ දායකත්වය ලබා ගන්නා ආකාරය සඳහන් වී තිබුණා. 2002 වසරේදී දි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය, රාජ්‍ය සේවයේ සේවා කණ්ඩායම් එක් කර ‘මැනේජ්මන්ට් සර්විස්’ ක්‍රියාවලිය හඳුන්වා දුන්නා. ඒ ආකාරයට රාජ්‍ය පරිපාලන යන්ත්‍රණයේ සම්පූර්ණ පරිවර්තනයක් සිදු කිරීමට එදාත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වුණා. ඒ පරිවර්තනය සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීමට ලෝක බැංකුව පො‍රොන්දු වුණා. නමුත් මේ කටයුතු ඉදිරියට ගෙනයාමට අවස්ථාව ලැබුණේ නෑ .

කොහොම නමුත් නැවතත් රාජ්‍ය සේවය නැංවීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා . ඒ යටතේ නව ලෝක ප්‍රවණාතාවයන් සමඟ රාජ්‍ය යාන්ත්‍රණයේ පරිවර්තනයක අවශ්‍යතාව වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය පරිපාලන විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට ද අපේක්ෂිතයි. ඒ වගේම රාජ්‍ය සේවක අවම වැටුප රු. 55000ක දක්වා ඉහළ නැංවීමට ‘පුළුවන් ශ්‍රී ලංකා’ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා .

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ඡන්ද ඉලක්ක කර ගෙන සිදු කරනු ලැබුවක් බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා. නමුත් මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බව කිව යුතුයි. එය කිසිසේත්ම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කරනු ලැබුවක් නොවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  යතාර්ථවාදී ලෙස වැටුප් වැඩිකිරීම සිදුකර තිබෙනවා. ඒ සමඟ අනෙක් අපේක්ෂකයන්ද විවිධ පොරොන්දු ලබාදීම ආරම්භ කර තිබෙනවා . නමුත් ඒ පොරොන්දු ඉටුකළ හැකිද යන ප්‍රශ්නය තිබෙනවා .

ඒ වගේම ‘උරුමය’ සහ ‘අස්වැසුම’ ද මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මිස විවිධ දේශපාලනඥයින් පවසන පරිදි, ඒ කිසිවක් ජන්ද බලාගෙන දියත්කළ වැඩසටහන් නොවෙයි . මේ සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය නිවැරදි හැසිරවීමෙන් ජනතාවට ලබා දුන් ප්‍රතිලාභ බව කිව යුතුයි. ජනාධපතිතුමා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළේ අපට ලෝකයේ ආධාර දෙන කණ්ඩායම් වල එකඟතාවය මතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවිධිමත් ශ්‍රම වෙළෙඳපොල ලෙසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂ සටහනක් තබා තිබෙනවා. එහිදී එතුමා සඳහන් කරනවා , විශාල පිරිසක් අවිධිමත් ශ්‍රම වෙළඳපොළෙහි රැකියා කරන අතර, ඒ සියලු දෙනා ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් ලෙස පරිවර්තනය කරගත යුතුයි කියලා. එසේනම් සැප්තැම්බර් 21 වනදාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලාංකික මහජනතාව ඡන්දයක් භාවිතා කරනවා කියලා කියන්නේ, අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළේ සහ විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන ප්‍රශ්න මාලාව විසඳාගෙන ආර්ථිකය ශක්තිමත්භාවයක් ඇති කරගැනීම සඳහා සහයෝගය ලබා දීමයි.

රටේ ආර්ථික වර්ධන වේගය වැඩිවෙනවා නම් විශ්‍රාමිකයෝ ලක්ෂ පහක් ආර්ථික වර්ධන වේගයේ කොටස්කරුවන් බවට පත් කළ යුතුව තිබෙනවා ඔවුන්ගේ දැනුම, පලපුරුද්ද, අත්දැකීම්, හැකියාවත් සහිතව ඉදිරියට ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සැලසුම් කර තිබෙනවා.

ඒ නිසා මෙම ජනාධිපතිවරණය ‘ශ්‍රී ලාංකික කෘතවේදීත්වය දැක්වීමේ මැතිවරණයක්’ ලෙස හැඳින්විය හැකියි. රාජ්‍යසේවක ඔබ කවුරුත් තැපැල් ජන්දය භාවිතා කිරීමේදී රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට , ඔබේ ආර්ථිකය ශක්තිමත් කිරීමට , විධිමත් සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන , ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජන්දය ලබාදිය යුතුව තිබෙනවා.

මෙහිදී අපි සොයන්නේ සංස්කෘතියට නායකයෙක් නොවෙයි. ආගමකට නායකයෙක් නොවෙයි. කුලයකට නායකයෙක් නොවෙයි. අපි සොයන්නේ රටට රාජ්‍යතාන්ත්‍රික නායකයකුයි. ඒ බව ශ්‍රී ලාංකික සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය වගේම සමස්ත ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවත් සිහියේ තබාගත යුතුයි. වැටුණු රටක් ගොඩගත් , ඒ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපතිවරයා ලෙස වසර දෙකක ධුරයේ පළපුරුද්දක් ඇති, ඒ වගේම වසර හතළිස් දෙකක පළපුරුද්දක් තිබෙන, ඒ වගේම වසර දෙකක ජනාධිපතිධුරයේ පලපුරුද්දක් සහිත නායකයකු ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක වෙනත් අපේක්ෂකයින් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමත් ජාතියේ අවාසනාවක් හැටියටයි මම දකින්නේ.

මේ ජනාධිපතිවරණයේදී කුලවාදයට නායකයකු, ආගම් වාදයට, නායකයකු හොයන්න එපා. මේ මැතිවරණයේදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා, මේ රට ආසියාවේ බලවත් රටක් බවට පත්කර ගැනීම සඳහා, ලෝකයේ බලවත් රටක් ලෙස නැගී සිටීම සඳහා, සියලු වෙනස්කම් ඒ අයුරින්ම තබා ගනිමින් ජාතියේත්, අනාගත තරුණ පරම්පරාවේත් ආරක්ෂාව වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීමට මේ රටේ ජනතාව කටයුතු කරන බව විශ්වාසයි.