ජීනීවා වාර්තාවේ යුධ අපරාධ චෝදනා නෑ : ඊළමක් හදන්න දෙන්නෙත් නෑ - ජනාධිපති

ජීනීවා වාර්තාවේ යුධ අපරාධ චෝදනා නෑ : ඊළමක් හදන්න දෙන්නෙත් නෑ - ජනාධිපති

රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා කවුද යන්න ඇතැමුන්ට තේරුම් ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවත්   ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස විග‍්‍රහ කරන අයුරින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ  කොමසාරිස්වරයාගේ යෝජනා තුළද මෙරට  ආරක්ෂක හමුදාවන්ට යුධ අපරාධ චෝදනා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

අද (19) පස්වරුවේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස පැවති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

යුධ අපරාධ පිළිබඳ  අද චෝදනා නගන්නේ රටින් පිට සිටින රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් පිරිස් විසින් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති අතර දේශීය චින්තනය, අපේකම් අපේ උරුමය ශිෂ්ටත්වය සහ සභ්‍යත්වයේ ගෞරවය තුළ සෑමවිටම රට, ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් කටයුතු කරන්නැයි තමා එම සියලූදෙනාගෙන් ඉල්ලන බව ද පැවසීය. 

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන්ට සැමදා ජාතියේ උත්තමාචාරය හිමිවන අතර, රණවිරුවන්ට ලබා දියහැකි ඉහළම ගෞරවය සහ ප‍්‍රණාමය පුද කිරීමට මෙන්ම  ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුබසාධනය උදෙසා  රජය අඛණ්ඩව කැපවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය. 

අද ඇතැම් රාජ්‍ය මාධ්‍යවලට ද රණවිරුවන් ඇගයීම අතපසු වී තිබෙන අතර අතැම් රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ද වත්මන් රජය විසින් රණවිරුවන් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ කථා නොකිරීම කණගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා පැවසීය. වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මාතෘ භූමිය වෙනුවෙන් කළ කැපවීම් පිළිබඳ නිරන්තරයෙන් ජනතා මතකය අවදි කරමින් ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි ගෞරවය පුද කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා එම සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය. 

රණවිරුවා කිසිවිටෙකත් දේශපාලන අතකොළුවක් නොවිය යුතු අතර, දේශපාලනඥයන්ට බලයට ඒමට, බලයට එන ආණ්ඩු පෙරළීමට හෝ දේශපාලන පක්ෂ සංවිධානය කිරීමට ඔවුන් භාවිතා නොකළ යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය වුවද තවමත් මතවාදී ලෙස පරාජය වී නොමැති අතර, රටින් පිට සිට තවමත් ඊලාම් රාජ්‍යයක් පිළිබඳ  සිහින දකින එම අන්තවාදින්ගේ සිහින ඉටුකර ගැනීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවයි.

පසුගිය වසර තුන හමාර තුළ රජය සිය මිත‍්‍ර රාජ්‍යයන්ගේ ද සහය ඇතිව කැපවූයේ රට බෙදන එම මතවාදයන් පරාජය කිරීම වෙනුවෙන් බවත් ඉදිරියට ද එම සියලූදෙනාගේ සහය ඇතිව එම වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවන බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ත‍්‍රස්තවාදය පරදා ලක්වාසී සියලූ ජනතාවට නිදහස් නිවහල් රාජ්‍යයක් උදාකර දීමට දිවිහිමියෙන් සටන් වැදුණු වීරෝධාර රණවිරුවන් සමරා වාර්ෂිකව පැවැත්වෙන රණවිරු සැමරුම මෙවර ද ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි. 

මෙහිදි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ  සියලූ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිරිනැමීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න