Language Switcher

V2025

ජෝන් ගෝඨා පාර්ශවයෙන් : රත්නපුරේ බලය ඇල්ලීමේ සූදානමක !

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී සබරගමු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්නගේ නම යෝජනා කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ශ්‍රීලනිපයේ පළාත් පාලන නියෝජිතයන් සහ තවත් ක්‍රියාකාරීන් පිරිසක් කැඳවා ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා මේ සම්බන්ධව උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව ඔවුන් ඉදිරියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තම මන්ත්‍රීවරයා පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස නම් කරන ලෙස එම පක්ෂයෙන් ඉල්ලීමට සූදානම් වෙයි.

මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයට නායකත්වය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර නගර සභාවේ බලය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහය ලැබීම හමුවේ ඇයට මතුව තිබෙන විරෝධය තම වාසියට යොදාගැනීමට අවශ්‍ය බවත්  ඒ සඳහා එම පෙරමුණේ ගෝඨා පාර්ශවයේ සහය තමන්ට තිබෙන බවද මන්ත්‍රීවරයා සිය හිතවතුන්ට සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රබලයකු සඳහන් කර සිටියේ පවිත්‍රා මන්ත්‍රීවරියගේ නායකත්වය සහ ක්‍රියාකාරීත්වය ගැන කුමන ප්‍රශ්න තිබුණත් ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයාට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය ලබාදීමට තමන් එකඟ නොවන බවය.
වාසි පිලට හෝයියා ප්‍රතිපත්තියට අවස්ථාවාදී ලෙස හැසිරෙන අය තවදුරටත් රත්නපුරේ දේශපාලනයට අනවශ්‍ය බවත් ඔවුන් දැන්වත් වැදගත් ලෙස විශ්‍රාම ගත යුතුව ඇති බවද ඔහු පැවසීය.