ඇඹිලිපිටිය නගර සභාව පසුගිය වසර හතකට ආසන්න කාලය තුළ ගවමස් වෙළදසැලකට අවසර නොදුන් නමුත් පසුගිය සභා රැස්වීමේදී මාළු වෙළඳසැලක් පවත්වන පුද්ගලයෙකුගේ කළ ඉල්ලීමක් සලකා ඔහුට තම මාලූ වෙළඳසැලේ පැකට්කළ ගවමස් විකිණීමට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඇඹිලිපිටිය නගර සභාපති ලලිත් ගමගේ ගේ ප‍්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදීම සිදුකර ඇත.
එම සභාවේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එදා ඇඹිලිපිටියේ ගවමස් අලෙවි නොකළයුතු සහ ගවමස් කඩයක් පවත්වාගෙන නොයා යුතුය යන යෝජනාවට එකඟත්වය පළකල සරත් විතාරණ සභිකයා මෙවර සභිකයෙකුවී ගවමස් විකිණීමට අවසර දීම වරදක් නොවන බවට අදහස් දක්වා ඇත.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික කේ. රුවන් පතිරණ පවසා ඇත්තේ සුපිරි වෙළඳසැල්වල පැකට්කර ගවමස් අලෙවි කරන නිසා මෙම ඉල්ලිමට ඉඩදීම සාධාරණ බවත් ඉන් සභාවට ආදායමක් ලැබෙන බවය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහි බලය ලබාගත් අතර ඊට පෙර එහි බලය හෙබවූයේ ජාතික හෙළ උරුමයේ වේවැල්දුවේ ඥානප‍්‍රභ හිමිය. ඒ සමයේ ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙඳසලකට අවසර නොලැබුණි.
ඒ අනුව ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණට වර්තමානයේ බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවට තේරී පත්ව සිටින එම පෙරමුණේ සභිකයන් අට දෙනා මාළු වෙළෙදසැලේ පැකට් කළ ගවමස් විකිණීමට අවසර ලැබුණි.
කතෘ සටහන : තරහා අවසර, රෙදි ඇඳගෙනද ඉන්නේ ?
ගවමස් විකිණීමට අවසර දීම ගැන අපට ගැටළුවක් නැත. එය අපට වාර්තා කිරීමට තරම් පුවතක්ද නොවේය. එහෙත් අප මෙය වාර්තා කරන්නේ හේතු ඇතුවය. ඒ, රට පුරා ජාතිවාදය වපුරමින්, ජාතිකත්ව සහ ආගමික පදනමින් සමාජය අවුළුවා, එය බලය ගැනීමේ මුලික උපක්‍රමය කරගත් පක්ෂයක සැබෑ කෙරුවාව සඳහා නිදර්ශනයක් ගෙන හැර දක්වන්නටය. ආගමික- ජාතිකත්වයක ආහාර සංස්කෘතිය මත පවා දේශපාලන වසුරු මුදාහැර කටයුතු කරන සහ ඒවාට සාදු කියමින් එකත්පස්ව සිටි කිසිවෙක් හෙට රට, ජාතිය, ආගම, සභ්‍යත්වය, ජාතියේ කිරි මව ආදී සටන් පාඨ අතැතිව හෙට දිනයේ ඇඹිලිපිටිය නගර මධ්‍යයේ අපට දක්නට නොලැබෙනු ඇත. පොඩ්ඩ ඇත්නම් චීවරය කරට ගෙන පාරට එන කිසිවෙක්ද හෙට මේ තීරණයට එරෙහිව ඇඹිලිපිටිය නගරයට එන්නේ නැත. අවම වශයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්වත් පාරට එන්නේ නැත. ජාතිවාදී කඳවුරේ නරුම ස්වභාවය එහෙමය. ඔවුන්ට රට ජාතිය ආගම වැදගත් වන්නේ බලය ගැනීම සඳහා මිස ඒවාට ඇති සැබෑ ලැදියාව නිසා නොවේය. ප්‍රශ්නය ඇත්තේ තවමත් ඇතැම් ජනකොටස් මේ මිත්‍යාවෙන් ගිනිකන වැටී සිටීමය.

