කාලගුණය අයහපත් : ගංවතුර සහ නායයාම් අවධානම් නිකුත් කරලා !

කාලගුණය අයහපත් : ගංවතුර සහ නායයාම් අවධානම් නිකුත් කරලා !

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්ක 7 කට නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
 
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට  කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතුව ඇත.

ජලාශ කිහිපයක වාන් දොරටු විවර කරලා 

එසේම අත්තනගලු ඔයෙහි ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන්, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වාසය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. එසේම මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර දැදුරු ඔයේ සහ උඩවලව ජලාෂයේද වාන් දොරටු විවෘත කර තිබෙන බැවින් එම ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දී ඇත.

 නායයාම් ගැන අවධානයෙන් සිටින්න 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට එම අනතුරු ඇඟවීම බලපාන බවයි.

සබරගමුවට මිලිමීටර් 150ක වැස්සක් !

මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ  අද(20) පස්වරුවේ, සබරගමුව පළාතට මිලිමීටර් 150 ඉක්මවන වැසි ඇතිවිය හැකි බවය.
 
බස්නාහිර, මධ්‍යම, ඌව සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

නිරිතදිග මෝසම සක්‍රීය වෙලා 

මේ බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය හෙට (21) දිනයේදීත් අපේක්ෂා කරන බවය.
 
බස්නාහිර,දකුණු,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සසබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.150 ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවද  එම නිවේදනයේ සඳහන්ව ඇත.
 
එසේම මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ජනතාවට ඒ ගැන අවධියෙන් සිටින ලෙසත්  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියි.

හමුදාව සීරුවෙන් 

මේ අතර හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කර සිටින්නේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කිසියම් ආපදා තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණදීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානයේ බටහිර විදානයට අයත් භට කණ්ඩායම් දෙකක් සීරුවෙන් තබා ඇති බවය. එම පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක සහන කටයුතු සඳහා සුදානම් කර ඇති බවද බ්‍රිගේඩියර්වරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න