මාතර නගරය පීඩාවට පත්වෙද්දී : පුරපති බාලි දූපතේ සැප ගන්න ගිහින්

මාතර නගරය පීඩාවට පත්වෙද්දී : පුරපති බාලි දූපතේ සැප ගන්න ගිහින්

ගාල්ල සහ මාතර නගර කේන්ද්‍රකර ගනිමින් දරුණු උණ රෝගයක් පැතිර යමින් තිබෙන පසුබිමේ මාතර පොදු මහජන සෞඛ්‍ය අධිකාරී බලය හිමි මාතර නගරසභාවේ නගරාධිපති ජී.ඩී. යසරත්න හොර රහසේම විනෝද සංචාරයක් සඳහා ඉන්දුනීසියාවේ බාලී දිවයිනට ගොස් ඇති බව වාර්තා වෙයි.

එසේම උණ රෝගයට අමතරව මේ වන විට ප්‍රදේශයේ ගංවතුර අවධානමක්ද පැනනැග ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ පාසල් වසා දැමීමටත්  ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමට පළාත් බලධාරීන් තීරණය කර ඇති නමුත් නගරාධිපතිවරයා විදෙස් ගත වන අවස්ථාවේ ඔහුගේ කටයුතු නිල වශයෙන් කිසිවෙකුට පවරා නොමැති බැවින් පරිපාලන තීන්දු ගැනීමේ බලවත් දුෂ්කරතාවක් මතුව ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධව newstube.lk කල විමසීමකදී මාතර නගරසභාවේ වගකිවයුතු නිලධාරියෙකු සඳහන් කර සිටියේ මාතර නගරාධිපතිවරයා විදේශගතවීම සඳහා නිවාඩු අයදුම්කර නොමැති බවත් පසුගිය 17 වනදා තම ඥාතියකුගේ විවාහයකට සහභාගීවන බව දන්වමින් නගරසභාවෙන් පිටත්ව ගොස් ඇති බවත් මේ වන විට ඔහුගේ දුරකථනය පවා ක්‍රියා විරහිත කර ඇති බවය.

තවද ඒ පිළිබඳ  කරුණු දක්වමින් දකුණු පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ පළාත් පාලන ආයතන ප්‍රධානියෙකු විදෙස් ගතවීමට පෙර පළාතේ විෂය භාර අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා වෙතින් නිවාඩු අනුමත කරගත යුතු නමුත් මෙහිදී එවැන්නක් සිදුව නොමැති බවත් එසේ නගරාධිපතිවරයා විදෙස් ගතවී ඇත්නම් එය  නීති විරෝධී මෙන්ම බරපතල විෂමාචාරයක් ද වන බවයි.

මේ අතර මාතර නගරාධිපතිවරයා සමඟ  ඉන්දුනීසියාවේ බාලි දුපතේ විනෝදවීමට ගිය පිරිස අතර ප්‍රියංකර රත්නායක, නිහාල් රංජිත් (රෝල්ස් මුදලාලි) මෙන්ම ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායකවරයකු වන රාජ් චන්ද්‍රලාල් ද වන බව වාර්තා වෙයි.

මේ පිළිබඳ අපට තොරතුරු ලබාදුන් මාතර නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු සඳහන් කර සිටියේ හොර රහසේ විනෝදවීමට ගියත් අවම වශයෙන් සභාවේ බලතල පවරා ගියානම් මෙවැනි අපවාදයකට ලක්නොවන බවය. එසේම ජනතාව පීඩාවට පත්වන අවස්ථාවක ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකිරීමට නොහැකිවීම ගැන කණගාටු වන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න