Language Switcher

V2025

360දී විමල්ව සැළසුම්කර අමාරුවේ දාලා : රාජපක්ෂ පවුලේ ප්‍රබලයකුට පැමිණිල්ලක් !

දෙරණ රූපවාහිනියේ අංශක 360 වැඩසටහන අතර තුර මාධ්‍යවේදී චාපා බණ්ඩාර විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධව රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු අමතා  එම නාලිකාවට විරෝධය පළකරන ලෙස ජාතික නිදහස් පෙරමුණ පාර්ශවය බලකර  ඇතැයි වාර්තා වෙයි.

අදාළ සාකච්ජාවේදී මාධ්‍යවේදී චාපා බණ්ඩාර දැනුවත්ව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020-30 ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව පැවසු කාරනා සම්බන්ධව දිගින් දිගටම සිය නායකතුමා වෙතින්  ප්‍රශ්න කළ බවත් ඒ හමුවේ ඔහු බලවත් දුෂ්කරතාවට පත්වූ අතර ප්‍රේක්ෂක ජනතාව හමුවේ හෑල්ලු වූ බවද විමල් වීරවංශ පාර්ශවය එහිදී දැනුම්දී ඇත.

සැබවින්ම එහිදී වියත්මග කතාවේ ගෝඨාභය රාජපක්ෂ සිදුකළ කතාව නව ලිබරල් ධනවාදී අදහස් බවත් එම කරුණු පිළිගන්නේද යනුවෙන් විමසු විට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැකිලෙමින් පිළිතුර ලෙස ලබාදුන්නේ "අවාසනාවට මට ඒ කතාව අහන්න නොහැකිවූ බවත් ඒ ගැන කණගාටු වන බව පවසමින්ය. එහිදී රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන තත්ත්වයට පත්කිරීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ දැක්වූ අදහස් සම්බන්ධව චාපා බණ්ඩාර යලිත් ප්‍රශ්න කලවිට විමල් වීරවංශ මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කරමින් නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය ලාභ ලබන තැනට පත්කළ නොහැකි බවත් එවැන්නක් සඳහා ගෝඨාභය ලේකම්තුමා එකඟ නොවන බව තමන් විශ්වාස කරන බව පවසා එම ප්‍රශ්නය සරලව  මඟ හරින්නට උත්සාහ කළේය. එහෙත් එහිදී චාපා බණ්ඩාර අවධාරණය කර සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ කතාව තුළ කිසිඳු තැනක නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවයක් ගැන සඳහනක්වත් නොමැති බවය.

මේ බව අනාවරණය කරමින් ජනිපෙ නියෝජිතයකු ප්‍රකාශකර සිටියේ වෙනත් දිනවල එක් මාධ්‍යවේදියෙක් සිදුකරන ප්‍රශ්න විමසුම වෙනුවට එදින මාධ්‍යවේදීන් දෙදෙනෙකු යොදවා එම වැඩසටහනේ ආකෘතිය පවා වෙනස් කරන්නට අදාල රූපවාහිනී ආයතනය කටයුතු කර තිබු බවත් එය තම පක්ෂ නායකයා අපහසුතාවයට පත්කරන්නට කළ උපක්‍රමයක් බවට තමන් සැකකරන බවය.

එමෙන්ම ඉදිරියේදී එම නාලිකාවේ වැඩසටහනක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ සහභාගී වන්නේද යන්න වෙනම සිතන්න සිදුව ඇති බවද ඔහු පැවසීය. 

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනිපෙ ප්‍රකාශකයා සඳහන් කර සිටියේ අදාළ නාලිකාවේ හිමිකාරීත්වය යටතේ තිබෙන වෙළඳ ප්‍රචාරණ ආයතනය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සඳහා මැදිහත්වූ බවත් ඒ සම්බන්ධව තම පක්ෂ නායකයා ප්‍රසිද්ධියේ විරෝධය පෑ හේතුවෙන් ඔහුව ප්‍රේක්ෂකයන් හමුවේ අපහසුතාවයට සහ හෑල්ලුවට ලක්කිරීමට නාලිකා බලධාරීන් කටයුතු කල බව තමන් විශ්වාස කරන බවය.