පොලිස්පතිගේ චෝදනා පුස් වෙයි : පාලිතට නියෝජ්‍ය පොලිස්පතිධුරය හිමිවෙයි !

පොලිස්පතිගේ චෝදනා පුස් වෙයි : පාලිතට නියෝජ්‍ය පොලිස්පතිධුරය හිමිවෙයි !

පොලිස්පතිවරයා දිගින් දිගටම විරෝධය දක්වමින් සිටි නමුත් ඒ නොසළකා  කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන  නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කිරීමට ජාතික  පොලිස් කොමිසම කටයුතු කර ඇත.


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මුල් වරට තීරණය කර පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් 5 වනදා ය. 
 
නමුත් එම තීරණය නැවත  සලකා බලන ලෙස පොලිස්පතිවරයා ඉල්ලා තිබූ අතර  එහිදී නැවතත් ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය වුයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙසය. 
 
කෙසේ වෙතත් අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නොකිරීම නිසා මැයි මාසයේ මුල් සතියේ දී ජාතික පොලිස් කොමිසම පාලිත සිරිවර්ධන මහතා හැර ඉතිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු  හතර දෙනා වැඩ බලන පොලිස්පතිවරුන් ලෙස පත් කරනු ලැබිණ.
 
 
මේ අතර තමා කිලිනොච්චි කොට්ඨාසයෙන් මාරු කර කොට්ඨාසයක් නැතිව සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන බවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව කියමින් පාලිත සිරිවර්ධන පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබු අතර  බොරු චෝදනා මත යළිත් වරක් තමාට හිරිහැර කරන බව කියමින් සිරිවර්ධන විසින් පොලිස් කොමිසමටද ලිඛිතව  පැමිණිලි කර ඇත. 
 
ඒ සම්බන්ධව පොලිස් කොමිසමේ විමර්ශන වලදී පොලිස්පතිවරයා කරුණු දක්වා ඇත්තේ පාලිත සිරිවර්ධනට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර නීතිය හා සාමය අමාත්‍යංශයට යවා ඇති බවය. එහෙයින් උසස්වීම් සම්බන්ධව නැවත සලකා බැලිය යුතුව තිබෙන බවය. 
 
 ඒ අනුව එම චෝදනා පත්‍ර දෙක කොමිසමට ගෙන්වාගෙන විමසා බැලූ බවත්, එම චෝදනා පත්‍ර සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඒ අනුව කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්ති තනතුරට පත් කළ ජාතික පොලිස් කොමිසම ඊට අදාළ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිට දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න