යුද්ධයේදී සිවිල් වැසියන් ඝාතනය වුණා - තිස්ස විතාරණ

යුද්ධයේදී සිවිල් වැසියන් ඝාතනය වුණා - තිස්ස විතාරණ

යුද්ධයේදී දෙමළ සිවිල් වැසියන් හමුදාව අතින් මියගොස් ඇති බව යුද්ධය සමයේදී තම පක්ෂයේ උතුරු නැගෙනහිර වෙසෙන සාමාජිකයන්ගේ පැමිණිලි ලැබුණු බව සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ ‘අනිද්දා’ කළ විමසීමකදී  පැවසීය.

යුද්ධයේ අවසාන සමයේදී මෙවැනි පැමිණිලි ලැබුණු බවත් ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඩිව් ගුණසේකර මහතා සහ තමා සාකච්ඡා කළ බවත් තිස්ස විතාරණ මහතා පැවසීය. ඒ අනුව හමුදා ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන් සහ මහින්ද රාජපක්ෂ මහතා සමග තමාට සාකච්ඡාවක් ලැබුණු බවද ඔහු කීය.
එල්.ටී.ටී.ඊ.ය සිවිල් වැසියන් පළිහක් කර ගැනීම සහ දිගු දුර අවි පාවිච්චි කිරීම නිසා සිවිල් වැසියන් සහ එල්.ටී.ටී.ඊ. සෙබළුන් වෙන් කර තොරාගත නොහැකි වූ බවත්, සිවිල් වැසියන් ඝාතනයට ලක්වන බවත් එම සාකච්ඡාවලදී හමුදාව පැවසූ බවද ඔහු කීය. රජය විසිල් වැසියන් ඝාතනය නොකරන්නේ යැයි ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණෙන්නේ නම් දිගු දුර අවි පාවිච්චිය නවත්වා කෙටි දුර අවි පාවිච්චි කිරීමට කටයුතු කරන බව හමුදා ප්‍රධානීන් වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද කීය.

‘කියන්න සතුටුයි, මහිනිද රාජපක්ෂ මහතා අපේ පැමිණිලි කිරීම්වලින් පසුව දිගු දුර අවි පාවිච්චි කිරීම නවත්වලා කෙටි දුර අවි පාවිච්චි කළා. ඒකෙන් ඒ වගේ මරණ අඩු වුණා’ තිස්ස විතාරණ මහතා පැවසීය.

චේතනාන්විතව හමුදා සිවිල් වැසියන් ඝාතනය කළ බවට තමන් චොදනා නොකලත් ආයුධවලින් සිදුකරන යුද්ධයේදී සිවිල් වැසියන් මියයෑම වැළැක්විය නොහැකි බවද ඔහු පැවසීය. එහෙත් චේතනාන්විතව එවැනි ඝාතන කළ බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවද ඔහු කීය.

යුද්ධයේදී සෑම ජනවර්ගයකටම අයත් ජනතාව මියයන බවත් සංහිඳියාව වෙනුවෙන් එසේ මියගිය සිංහළ, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සැමරීම සඳහා දිනයක් රජය විසින් නම් කළ යුතු බවත් තිස්ස විතාරණ මහතා වැඩිදුරටත්  කීය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය ගැන මාධ්‍ය හරහා ඇතිවූ සංවාදය පිළිබඳව අප කළ විමසීමකදීය. අප ඒ සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකරගෙන් කළ විමසීමකදී ඒ මහතාද ප්‍රකාශ කළේ, යුද්ධයකදී සිවිල් වැසියන් ඝාතනය වීම වැළැක්විය නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදී වමාංශික පෙරමුණේ නායක, ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද බී.බී.සී. සිංහල සේවය කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ යුද්ධයේදී සිවිල් වැසියන් මියගිය බවයි.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න