ජනාධිපති කිව්වේ බොරු : ඩලස්ගෙන් සැර පිළිතුරක් !

ජනාධිපති කිව්වේ බොරු : ඩලස්ගෙන් සැර පිළිතුරක් !

අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අනාරාධිතව සහභාගීව පැවැත්වු පූජ්‍ය පාද මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ දෙසුම සම්මුතිවාදී යැයි කියා ගන්නා ආණ්ඩුවේ බරපතල අසම්මුතිය මොනවට ප‍්‍රදර්ශනය කළ  දේශනයක් බවත් ඒ  තුළ හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉලක්ක කොට ප‍්‍රකාශ කරනු ලැබූ වගකීම් විරහිත ප‍්‍රකාශයන් ඊට උරුම විය යුතු පිළිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කරන අතර ජනාධිපති වරයාගේ එකී ප‍්‍රකාශය තුළ විශේෂයෙන්ම,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ 2015 ජනවාරි 09 වන දින හෙලිකොප්ටර් මගින් මැදමුලන බලා පිටත් වීම, එවකට ජනාධිපති කාර්යාලය සතුව තිබූ අති නවීන ආරක්ෂක රථ සියල්ල රැගෙන යාම, ජනාධිපති ආරක්ෂක අංශය සතුව තිබූ යැයි පවසන බෝම්බ පරීක්ෂා කරන යාන්ති‍්‍රක උපකරණය රැගෙන යාම, රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් මහතාගේ මරණ පරීක්ෂන කටයුතු සඳහා බලපෑම් එල්ල කිරීම් වැනි කරුණු  පදනම් විරහිත වන අතරම සත්‍යයෙන්ද තොර බවද  සඳහන් කර ඇත. 

2015 ජනවාරි 08 වෙනි දින පැවති ජනාධිපති ඡන්ද විමසීමෙන් පසු මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වෙමින් තිබියදීම ඒ වන විට ලැබෙන තිබූ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් 2015 ජනවාරි 09 වන දින අලූයම 2.00 වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පසුබෑම නිල වශයෙන් භාරගත් අතර එම මොහොතේ සිටම අරලියගහ මන්දිරයෙන් පිටත්වීම සඳහා පියවර ගන්නා ලද බවත් එහි සඳහන් ය.

මහින්දට කවුරුත් හෙළිකොප්ටර් දෙන්නේ මොකටද ?

එසේම එම  මොහොතේ මහින්ද රාජපක්ෂට හිතවත් පක්ෂ විපක්ෂ බොහෝ ආණ්ඩුක‍්‍රම උපදේශකයන් ප‍්‍රකාශ කර සිටියේ ව්‍යවස්ථානූකූලව පත්වන ඊළඟ ජනාධිපතිවරයා ධූරයේ නිල වශයෙන්ම දිවුරැම් දෙන තුරුම ජනාධිපති ධූරය දරමින් අරලියගහ මන්දිරයේ රැඳී සිටීමටත් අවශ්‍ය නියෝග ලබාදීමටත් හැකි බව දන්වා සිටි නමුත්  මහින්ද රාජපක්ෂ  එම උපදෙස් ප‍්‍රතික්ෂේප කර එසේ කිරීම සදාචාරාත්මක නොවන බව ද අවධාරණය කොට ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන පරිදි මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ නිල වශයෙන් දිවුරැුම් දීමටත් පෙර එදින පෙ. ව. 9.00 වන විට අරලියගහ මැදුරෙන් සමුගන්නා ලද බවද එම නිවේදනයේ පෙන්වාදී ඇත.

එහිදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පත්කිරීම සම්බන්ධව 31(අ)(ආ) වගන්ති ප‍්‍රකාරව එනම් ඡන්දයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයෙකු සිය ධූරයේ නිල වශයෙන් දිවුරුම් දෙන තුරුම එතෙක් ධූරයේ රැඳී සිටින ජනාධිපතිවරයාගේ බලතල බලාත්මක වේ යන ව්‍යවස්ථානූකූල අර්ථ නිරූපනය අනුවම මහින්ද රජජපක්ෂ මහතා කි‍්‍රයා කරමින් තම ගම්බිම් බලා පිටත් වීම සඳහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් පහසුකම ලබා ගන්නා ලද බවත් නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

එහිදී එතෙක් දිවුරුම් නොදුන් හෝ නිල වශයෙන් පත්වීම් නොලද කිසිදු බලධාරියෙකුගෙන් අනුමැතියක් හෝ විමසීමක් එතුමා නොකරන ලද අතරම රාජ්‍ය නායකයා ලෙස සිය ඍජු සහ පරිණත බව ප‍්‍රදර්ශනය කරමින් තීන්දු තීරණ ගන්නා ලදි. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් නිල වශයෙන් සමුදී පැය 10 කට පසු එනම් එනම්, ප.ව. 6.20 ට පමණ මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ලදී.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙලිකොප්ටර් භාවිතා කිරීම සම්බන්ධව, නීති විරෝධීව උදව් පදව් ලබා ගත් බව ඒත්තු ගැන්වීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන්නෙමු. මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයෙකු ලෙසත්, දේශපාලනඥයෙකු ලෙසත් බැගෑපත්වීම, බයාදුවීම හෝ වර්තමාන රජයේ නායකයන් සේ පිංසෙන්ඩුවීම කිසිසේත් සිදු නොකරන නායකයෙකු බව ජාත්‍යන්තරයද පිළිගත් සත්‍යයකි.

තවද මේ සම්බන්ධව 2016 අපේ‍්‍රල් මාසයේ දී ජනාධිපතිවරයා විසින්ම කියා සිටියේ සම්පූර්ණ වෙනස් කතාවකි. එනම් හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් පසු මැද මුලන දක්වා ගමන් කිරීමට තම උපදෙස් හෙලිකොප්ටර් ලබා දුන් බවය. 

කෙසේ නමුත් මෑතක සිට ජනාධිපතිවරයා යම් යම් සිද්ධීන් පිළිබඳව පරස්පර ප‍්‍රකාශයන් සිදු කරන බැවින් තවදුරටත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සුදුසු නොවේ.

ආරක්ෂක රථ රැගෙන යාම

හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ තිබූ ආරක්ෂක රථ විශාල ප‍්‍රමාණයක් රැගෙන ගිය බවට මෛති‍්‍රපාල සිරිසේන මහතා කරන ප‍්‍රකාශයද අතිශය සාවද්‍ය වේ. මුලූමහත් දේශයම රුදුරු ත‍්‍රස්තවාදයෙන් මුදවාගත් එඩිතර නායකයෙකු ලෙසත්, හිටපු ජනාධිපතිවරයෙකු ලෙසත්, නිල වශයෙන් අයත් සහ පශ්චාත් ආරක්ෂක කටයුතුවලට ගැලපෙන පරිදි පමණක් ප‍්‍රවාහන පහසුකම් සලසා ගන්නා ලදි. 

තවද මෙම චෝදනාව සහ ඉහත හෙලිකොප්ටර් චෝදනාව හා සසඳනු මැනවි. එනම්, තමන්ට විනාඩි 45 ක ගමනක් සඳහා හෙලිකොප්ටර් ලබා ගැනීමට දිවුරුම් නොදුනු රජයක උදව් ලබා ගත්තා යැයි කියන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයෙකු ලෙස ජීවිත කාලය පුරාවටම භාවිතා කිරීමට අවශ්‍ය අති සුඛෝපභෝගී ආරක්ෂක රථ විශාල ප‍්‍රමාණයක් නොදන්වා අනවසරයෙන් හෝ බලහත්කාරකමෙන් රැුගෙන ගිය බව පවසයි. 

එමෙන්ම යම් ආකාරයකින් හෝ එසේ තමන්ට අනුමත හෝ අයත් නොවන ආකාරයෙන් වාහන රැුගෙන ගොස් තිබුණේ නම් මේ යහපාලන රජය මේ වන විට කි‍්‍රයාත්මක වන ආකාරය ගැන මේ රටේ සාමාන්‍ය ජනතාවට යම් අවබෝධයක් තිබේ. මන්දිරයෙන් රත්තරං රැගෙන ගියේ යැයි පවසා කරන ලද මාධ්‍ය ඝෝෂාව, ව්‍යාපාරිකයන්ගේ, ආරක්ෂක නිලධාරීන්ගේ භූමි පමණක් නොව සොහොන් පිටිද හාරා රටේ මහජන මුදල්, බදු මුදල් වැයකර ආරක්ෂක නිලධාරීන් සිය ගණනක් යොදා කරන ලද ‘‘මහා රත්තරං මෙහෙයුමට’’ සාපේක්ෂව ඒසේ නිල නොවන පරිදි වාහන රැුගෙන ගොස් තිබුණේ නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කොට හෙළිදරව් වූ එක් හෝ වාහනයක් සමඟ රන්ජන් රාමනායක මහතා පෙරටුකොටගත් මහා රථ පෙරහැරක් වීථී සංචාරය කරවමින් ‘‘දැවැන්ත මාධ්‍ය පෙළහරක්’’ යහපාලන රජය විසින් සිදු කරනු නොඅනුමානය. 

බෝම්බ පරීක්ෂා යන්ත‍්‍රය රැගෙන යාම

මෙය මුළුමනින්ම අසත්‍යයක් වන අතරම එවැනි බෝම්බ පරීක්ෂා කරන යන්ත‍්‍රයන් ජනාධිපති කාර්යාලය සතුව නොතිබුණි. ඒ පිළිබඳව හෝ තමන්ගේම කාර්යාලය සම්බන්ධව ගෙවී ගිය වසර 3 1/2 ඇතුළතම කිසිදු පරීක්ෂණයක් සිදු නොකල ජනාධිපතිවරයා මෙවැනි චෝදනාවක් එල්ල කිරීමට සදාචාරාත්මක අවශ්‍යතාවයක් තිබුණේ නම් ජනාධිපති කාර්යාලය සතුව ඇති භාණ්ඩ / උපකරණ ලැයිස්තුව  ගෙන්වා සොයා බලන්නට තිබුණි. එමෙන්ම එලෙස රාජ්‍ය සතුව වටිනා දේපලක් කවුරුන් විසින් හෝ අපහරණය කර ඇත්නම් ප‍්‍රසිද්ධ වේදිකාවල කරනු ලබන චෝදනාවෙන්ගෙන් බැහැර වී ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම ආණ්ඩු කරන්නන්ගේ වගකීමය.

වසීම් තාජුඞීන් මහතාගේ මරණ පරීක්ෂණය සඳහා බලපෑම් කිරීම සහ උදව් ලබා ගැනීම

ආණ්ඩුව විසින් තමන් බලයට පත්වීම සඳහාත්, බලයට පත් වී අද දක්වාත් ‘‘ප‍්‍රමුඛ රාජ්‍ය අවශ්‍යතාවය’’ ලෙස සලකා වසර 3 1රැු2 තිස්සේ සිදු කරනු ලබන මෙම මරණ පරීක්ෂණය තමන්ට අභිමත අවසානයක් දක්වා ළඟා කර ගැනීමට ඇති තාක්ෂණික දුර්වලතාවය මත කිසිදා අවසන් නොවන මරණ පරීක්ෂණයක් බවට පත්කොට තිබේ. එමෙන්ම පරීක්ෂණ අවසන් කිරීමෙන් තමන් විසින් සමාජගත කරන ලද ව්‍යාජ පදනම් විරහිත චෝදනාව නිශ්ප‍්‍රභා වේ යැයි බියෙන් සිටින ආණ්ඩුව එය ජන සමාජයේ ප‍්‍රකට කියමනක් වන ‘‘හිඟන්නාගේ තුවාලයක්’’ බවට පත් කරගෙන තිබේ.

තමන්ට අභිමත පරිදි අධිකරණ පද්ධතියත් පවත්වාගෙන යාමට වෙර දරන ආණ්ඩුව මේ සම්බන්ධව නිසි පරීක්ෂණයක් කොට ජනතාව දැනුවත් කරන්නේ නම් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මෙසේ මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය තාන්ති‍්‍රකභාවයට නොගැලපෙන පරිදි අදහස් පළ කරන්නේ නැත. 

කෙසේ නමුත් මෙකී සෝභිත හිමි ගුණ සමරුවේ දී ජනාධිපතිවරයා ඉතා වැදගත් හෙළිදරව්වක් කරමින් ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය මෙන්ම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළම එදා මෙදා තුර සිදු වූ බරපතලම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අපරාධය පිළිබඳව ස්වයං විවේචනයක් යෙදෙමින් එහි වගකීම භාරගන්නා ලදි. එතුමාගේ ප‍්‍රකාශයේ අපට වැදගත් කොටස වන්නේ එයයි. 

එනම්, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධ වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රෙගුලාසි අමු අමුවේ උල්ලංඝණය කරමින් මන්තී‍්‍ර ධූර 47 ක් පමණක් අතැතිව සිටි සුළුතරය නියෝජනය කරමින් සිටි පාර්ශවයකට අගමැතිවරයා පත් කිරීමකට ඉඩ ලබාදීමය. 

පංචවිධ සත්‍යයක් 

කෙසේ නමුදු වර්තමාන ආණ්ඩුව තුළ ඇති බල  අරගලය සහ අප‍්‍රකාශිත යුද්ධය මැනවින් කරලියට ගෙනා ජනාධිපතිවරයාගේ මෙම දේශනය තුලින් පංචවිධ සත්‍යයක් සමාජ ගත කරන ලදි. 

01. සම්මුතිවාදී ලේබලය තුළ ඇත්තේ බරපතළ අසම්මුතියක් බව

02. යහපාලන සංකල්පය වහපාලන ලෙස පරිනාමය වී ඇති බව

03. දින 100 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ලැබුණු හැට දෙලක්‍ෂයේ ජන වරම මිත්‍යාවෙන් ලබාගත් බව

04. ශ‍්‍රීලනිපය නොහිටින්නට එජාපය විසින් සමස්ථ රාජ්‍යයම දේශපාලන වශයෙන් අපයෝජනය හා අපහරනය කරන බව

05. ජනාධිපතිවරයා, ආග‍්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව තුළ නොවැදගත් චරිතයක් ලෙස නොසලකා හැර ඇති බව.

ඒ අනුව  මාතෘ භූමියේ ගෞරවය සහ අනාගතය වෙනුවෙන් මෙම ආණ්ඩුව වහා විසුරුවා හැරිය යුතු බවද එම නිවේදනය සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න