Language Switcher

V2025

ආණ්ඩුවේ තවත් නෑමක් අත ළඟ: ඊ පාස්පෝට් ටෙන්ඩරය ලංසු නොතැබූ සමාගමකට

නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය කිසිඳු ලංසු කැඳවීමකින් තොරව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වෙයි.

ටෙන්ඩරය රුපියල් බිලියන 1.3 යි

රුපියල් බිලියන 1.2 ක වටිනාකමකින් යුතු මෙම ටෙන්ඩරය ලංසු කැඳවීමකින් තොරව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම පිටුපස බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සැකසංකා මතුකරන්නක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ලංසු තියලත් නෑ

යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය සඳහා ලංසු කැඳවීමේදී M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම ඒ සඳහා ඉදිරිපත් නොවූ බව සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විටත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 600ක් වැයකිරීම හරහා නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට හැකියාවක් ඇති බවටද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවය. එවැනි යෝජනාවක් නොතකා M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට මෙම ටෙන්ඩරය නිකුත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය පළවීම ගැටළු සහගත බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ජනාධිපති නිරීක්ෂණ ඉවතට

මීට ඉහතදීද විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලන යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමුවූ අතර එහිදී ජනාධිපතිවරයා ඊට සිය නිරීක්ෂණ සපයමින් පෙන්වාදී තිබුණේ තනි සමාගමකට ලබාදීම වෙනුවට තරගකාරී ලංසු ක්‍රමයක් හරහා අදාළ ටෙන්ඩරය නිකුත් කළ යුතු බවය.

කෙසේ වුවත් දිගින් දිගටම අදාළ සමාගම වෙත මෙම ටෙන්ඩරය ලබාදීම සඳහා වන ක්‍රියාවලියක් ආණ්ඩුවේම පාර්ශව කිහිපයක් වෙතින් දියත්වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස 2017 ජුනි 13 වනදා ICTA සහ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ තාක්ෂණික අවශ්‍යතා අධ්‍යයනය කිරීමට අවබෝධතා ගිවිසුමක්ද අත්සන්කොට තිබේ.

කැබිනට් මණ්ඩලයේ තීරණය සහ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ නොතකා ඇතිකරගත් මෙම ගිවිසුමෙන් පසුව 2017 අගෝස්තු 09 වනදා අංක CP/17/1576/722/017 දරණ හවුල් කැබිනට් සන්දේශයක් විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු විෂය අයත් එස්. බී. නාවින්න විසින් කැබිනට් මණ්ඩලයට ඉදරිපත් කර ඇත. එහෙත් එම අවස්ථාවේද කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වී තිබුණේ එක් සමාගමක් වෙනුවට “ස්විස් චැලේන්ජ්” ක්‍රමය යටතේ විද්යුත් විදෙස් ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය දියත්කළ යුතු බවය.

De La Rue සමාගමට ස්විස් චැලේන්ජ් ඇලජික්

වාර්තා වන ආකාරයට කැබිනට් මණ්ඩලයේ මෙම නිර්දේශයට M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම එකඟත්වය පළකර නොමැත. එසේම මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාද අදාළ ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට පැවරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකුට දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.

පසුගිය නොවැම්බර් 02 වනදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් අංක 17/2522/749/022 දරණ කැබිනට් සංදේශය ඉදිරිපත්කර ඇත්තේ ඒ අනුව බවත් එහිදී කිසිඳු ලංසු කැඳවීමකින් තොරව සහ 2017 අගෝස්තු 09 වනදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අදාළ නිර්දේශ සංශෝධනය කරන ලෙස ඉල්ලා තිබු බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ආගමන විගමන නිලධාරීන්ට වැඩ නැතිවෙයි

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම බ්‍රිතාන්‍ය කොටස් හිමිකාරෙත්වයක් සහිත සමාගමක් බවත් එවැනි සමාගමකට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම පැවරීම තුළ එම ක්‍රියාවලිය මුළුමනින්ම පෞද්ගලික සමාගමකට නිරාවරණයවීමේ අවධානමක් ඇති බවය. එසේම මෙම කටයුත්ත හේතුවෙන් පසුගියදා රුපියල් බිලියන 1ක් වියදම් කොට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කළ ‘නව විදෙස් ගමන් බලපත් කාර්යාලයයට අනුබද්ධ 400 කට අධික සේවකයන් හට රාජකාරියක් නොමැතිව යන අවධානමක්ද මතුව ඇති බවද එහි වෘත්තීය සමිති සඳහන් කර සිටියි.

වැඩ වර්ජනයක් අත ළඟ

එසේම තම දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර සැපයීමේ ටෙන්ඩරය සැපයීම සම්බන්ධව විරෝධය පළකරන බවත් සේවක විරෝධය නොතකා අදාළ සමාගමට එම ටෙන්ඩරය ලබාදුනහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති සුදානම්ව සිටින බවද ඔවුන් සඳහන් කර සිටියි.