මසකට ආසන්න කාලයක් ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල පැතිර යමින් පවතින උණ වසංගතය හේතුවෙන් දකුණේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ගේ පාසල් පැමිණීම අඩාල වී ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර අධ්‍යාපන බලධාරීන් සිදු කරන ලද සොයා බැලීමකදී ප්‍රාථමික ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණීම පහත වැටී ඇති බව අනාවරණය වී ඇති බවත් ඒ අනුව ජුනි 05 වනදා පමණක් මාතර නගරය ආශ්‍රිත ප්‍රධාන පාසල් 20 ක ප්‍රාථමික ශ්‍රේණිවල සමස්ථ ළමුන් 28744 කින් පාසල් පැමිණ ඇත්තේ ළමුන් 9321 පමණක් බවත් වැලිගම පාසල් 10 ක ළමුන් 7422 කින් 2628 ක්, දික්වැල්ල ප්‍රදේශයේ පාසල් 5 ක ළමුන් 5842 කින් 2064 ක්, දෙවිනුවර ප්‍රදේශයේ පාසල් 6 ක ළමුන් 4001 කින් 1531 ක් ලෙස බවද එම නිවේදනයේ දැක්වේ.
මේ තත්වය තුළ ප්‍රාථමික ශ්‍රේණිවල ළමුන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු වී ඇති බවත්, ඒ හේතුවෙන් දකුණේ පාසල්වල දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු අඩාල වී පවතින බවත් පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අගෝස්තු මාසයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඉදිරිපත් වන දරුවන්ට මෙලෙස අධ්‍යාපන කටයුතු අඩාලවීම බරපතල ගැටළුවක් බවද නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව මෙම වසංගත තත්වය පැතිර යාම වහා පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවීම වැලැක්වීමට අවශ්‍ය දැනුවත් කිරීම් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නගන ලෙසත් ලංකා ගුරු සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටී.

