මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක් ගැනීමට යන බවට 'දිවයින' පුවත්පත වාර්තා කර ඇත.
මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ කීත් නොයාර් පැහැර ගැනීම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබුණේ තමාට බවත් ඒ මොහොතේම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කථාකර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බවත්ය.
මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඕනෑම අවස්‌ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'දිවයින'ට පවසා ඇත. කාලයෙන් කාලයට රජය තමාගෙන් පළිගැනීමට මෙවැනි හිරිහැර සිදුකරන බවද කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොයි මොහොතක හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව තමන් දැන සිටි බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියි.

