2018 ජනවාරි 18 දින සිට මේ දක්වා දින 140 ක් බැඳුම්කර කොමිෂන් වාර්තාවේ ඇමුණුම් තමන් වෙත වෙත ලබා දෙන ලෙස කතානායක, ජනාධිපති ලේකම්, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන වෙත ද ඉල්ලීම් කොට ඇති බවත් බැදුම්කර මුදල් ලබා දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු විමසා අර්ජුන ඇලෝසියස් හා කසුන් පළිසේන වෙත ලිපි යොමුකර පැය 3360 ක් පුරා ඉල්ලීම් සිදුකළත් එය සැපිරී නොමැති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර අදාළ ලේඛන තමන් වෙත ලබා දෙන බවට කතානායකවරයාත් ජනාධිපති ලේකම්වරයාත් ලිඛිතව හා වාචිකව කරුණු දක්වා ඇති නමුත් අද දක්වාම එම ලේඛන තමන් වෙත ලැබී නොමැති බවද ඔහු සඳහන් කර සිටියි.
එසේම එම ලේඛන අවම වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමක් හෝ පුස්තකාලයට ලබාදීමක් සිදුව නොමැති බවත් එහෙයින් තමන් න් නැවත නැවත ඉල්ලා සිටින සී 350 ලේඛනය දැන් කතානායකවරයා සන්තකයේ ඇති බැවින් එම ලේඛනයට පාදක වූ ‘දත්ත ගොනුව‘ ද බැදුම්කර කොමිෂන් සභාව හා ජනාධිපති ලේකම්වරයා සතුව ඇති බව විශ්වාස කරන බවද එම ලිපියේ සඳහන් කර ඇත.
කැෆේ විධායක අධ්‍යක්ෂ විසින් කතානායකවරයාට යොමුකර ඇති ලිපියේ මෙසේද සඳහන්ව ඇත.
1. කරුණාකාර විනාඩි 201,600 ක් පුරා මා විසින් ඉල්ලා සිටින සී 350 වාර්තාවේ පිටපත මා වෙත ලබා දෙන ලෙස ඉල්ලමි.
2. අදාළ වාර්තාවට පදනම් වූ දත්ත ගොනුව (Data Base) ද බැදුම්කර කොමිෂන් සභාව, රහස් පොලීසිය, ජනාධිපති ලේකම්වරයා සතුව පවතී. එම දත්ත ගොනුව අප වෙත ලබා දෙන ලෙස ද ඉල්ලමි.
ගරු කථානායකතුමනි,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම ඔබ සතුව පවතී. ඒ සදහා එකම මාර්ගය බැදුම්කර වංචාවේ ප්‍රතිලාභීන් සාක්ෂි සහිතව අනාවරණය කිරීම ය.
එම සාක්ෂි වසන් කිරීම තුළින් තවදුරටත් පීඩාවට පත්වන්නේ මෙම ක්‍රියාවට කිසි ලෙසකින් හෝ සම්බන්ධ නොවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
එබැවින්, මා නැවතත් ඉල්ලා සිටින්නේ මා විසින් ඉල්ලා සිටි බැදුම්කර වාර්තාවේ සම්පූර්ණ ඇමුණුම් මා වෙත ලබා දෙන ලෙසය.

