අභාවප්‍රාප්ත සෝමවීරයන්ට අගමැතිගෙන් ශෝක ප්‍රකාශයක් !

අභාවප්‍රාප්ත සෝමවීරයන්ට අගමැතිගෙන් ශෝක ප්‍රකාශයක් !

ඊයේ (09) අභාවයට පත් ප්‍රවීන කලාකරුවකු වූ සෝමවීර සේනානායක සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශෝක ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ජුනි 09 වනදා නිකුත් කර තිබෙන ශෝක ප්‍රකාශය පහත පළවේ.

ප්‍රවීන සාහිත්‍යධර ටෙලිනාට්‍ය සිනමා තිර රචිත පුවත්පත් කලාවේදී සෝමවීර සේනානායක මහතා සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයෙකි.

පාසල් ශිෂ්‍ය සමයේදී පුවත්පත් සඟරා සඳහා ලිපි ලියමින් ලේඛන කලාවේ අත්පොත් තැබූ ඔහු 1966 වසරේ විශ්වවිද්‍යාලයෙන් පිටවී ලේක් හවුස් ආයතනයේ රැකියාවට පිවිස මුල් කාලයේ චිත්‍ර කතා සඳහා කතා නිර්මාණය කරන්නේය. ලංකාවේ පළමු චිත්‍ර කතා පත්තරය වූ සතුට පුවත්පතේ චිත්‍ර කතා කිහිපයක් ලියමින් සාම්ප්‍රදායික චිත්‍ර කතා කලාවට නව මුහුණුවරක් ගෙන දෙන්නට සමත් විය.

පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරන අතරම, 1972 වසරේ මාවතේ ගීතය නවකතාව පළ කිරීම සමග ඔහු නවකතාකරුවෙකු ලෙස අභිශේක ලබන්නේය. පොදු ජන හදට සමීප කතා රසයෙන් අනූන නවකතා ලියමින් පාඨක ප්‍රසාදය දිනාගත් සෝමවීර සේනානායකයන්, රූපවාහිනියේ ආගමනයත් සමග එකී නවීණ තාක්‍ෂණය සහ සාහිත්‍ය කලාවේ සුසංයෝගය මනාව වටහා ගනිමින් ටෙලි තිර කතා රචනයට පිවිසියේය. සෝමවීරයන්ගේ පළමු ටෙලි තිර කතාව ඔහුගේම නවකතාවක් ඇසුරෙන් ලියවුණු යශෝරාවයයි. නවකතාවක් ටෙලි නිර්මාණයකට නැඟී අතිශය සාර්ථක වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.

ඔහු විසින් රචිත ප්‍රාසාංගික ටෙලිනාට්‍ය 30 ක් සහ 200 කට අධික ඒකාංගික තිර රචනා අතර, පළිඟු මැණිකේ, දූදරුවෝ, අසල් වැසියෝ වැනි ටෙලි නිර්මාණ අදත් ප්‍රේක්ෂක මනසින් මැකී නොවන සාර්ථක නිර්මාණ වේ. සිනමා තිර රචනයට ද දස්කම් පෑ ඔහු සමස්ත ජීවිතය සාහිත්‍ය කලාව වෙනුවෙන්ම කැප කළ අපේ කාලයේ සුවිශේෂ සාහිත්‍යධරයෙකි.

සෝමවීර සේනානායක මැතිතුමාගේ සදානුස්මරණීය සාහිත්‍ය කලා මෙහෙවරට ගෞරවනීය ආචාර්ය පුදකරමින් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න